Monday, October 26, 2015

සියය



සුක්කානම මත දකුණු අත තබාගෙන ඩ්‍රයිව් ගියරයට මාරුවෙමින් සෙමින් පාරට ගත රියේ ප්‍රධාන ලාම්පු දල්වා ගනිමින් ඉදිරියට ඇදෙන විට , මීට ටික වෙලාවකට පෙර වැටුණු වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..

ප්‍රධාන මාර්ගය දෙපස විදුලි එලි වහා නිවී යද්දී එක්වරම හාත්පස ආලෝකමත් විය .ඒ සැනින් කන් බිහිරි වන හෙණ හඬ ඇහෙන විටම ඇස්දෙක මොහොතකට පියවුනාක් මෙන් මට දැනුනි . වායුසමීකරණය හැකිතාක් ඉහල උෂ්ණත්වයකට ගෙන ආවත් ඇට මිදුළු කාගෙන යන සීතලක් දැනෙන්නේ කෙසේදැයි සෙවීමට මම නැවතත් සියලු දොර වීදුරු දෙස බැල්මක් හෙළුවේ ඉවසිය නොහැකිම තැනදිය.

ප්‍රධාන මාර්ගය දෙපස කළුවර වූ ගෙවල් අතරේ අතරින් පතර මලානික එලි වැටුණු ජනේල අතරින් එහා මෙහා යන අඳුරු පැහැ හෙවනැලි වලින් අද්භූත හැගීම තවත් තීව්‍ර වන්නට විය . සෙමින් සෙමින් ගස් අතු සෙලවෙමින් ආරම්භ වූ සුළඟ දැඩි වූයෙන් මග දෙපස ගස් අතු මාවම ගිලගන්නට බලාසිටින රාක්ෂයන් මෙන් මට දිස්වනන්ට විය .

Tuesday, October 20, 2015

ප්‍රතිලෝම



මේවා ෆෑන් නෙවෙයි නිකං රූං පෙති වගේ ,

වදින හුළඟක් නම් නෑ , කැරකෙනවා කියලා දැනෙන්නේ හිටපු ගමන් ඇහෙන ටක ටක සද්දේ නිසා .. ආණ්ඩුවේ කන්තෝරු කියන නමටම ගැලපෙනවා

දවසක ඔලුවට කඩන් වැටෙනකං දන්නේ නෑ... ශික් විතරක්...

ටක් ටක් ටක් ....

දොරට දෙතුන් පාරක් තට්ටු කරද්දී විනිවිද නොපෙනෙන බොඳවී ගිය වීදුරුව හරහා මට පෙනුනේ තැඹිලි පාට සාරියක් . ඒ සැනින් පුටුවේ හරිබරි ගැහී කොන්ද කෙලින් කරගත්ත මං ඉක්මනින් කොණ්ඩය අතින් හදාගෙන ළඟ තිබුණු ෆයිල් එකත් පෙරලගෙන ,

ඇතුලට එන්න

Monday, October 12, 2015

කොහේ හෝ




අන්තර් ජාලයේ ගීත අතර පිහිනමින් සිටින අතරදී අහම්බෙන් මෙන් සවන් වැකුණු අපූරු ගීත දෙකක් ගැන සටහනක් තබන්නට සිත්විය . මේ ගීත දෙක අපූරු ගීත දෙකක් යැයි සඳහන් කරන්නට සිතුනේ ගීත දෙක අතර ඇති අපූර්ව සමානතාවය නිසයි . 

ගීත දෙක ලියවෙන්නේ රවී සිරිවර්ධන සහ ශාමිලා හුසේන් යන ගීත රචකයා සහ රචිකාවිය අතින් , අපූර්වත්වය වන්නේ කාන්තා දෘෂ්ටිකෝණයෙන් ගැයෙන ගීතය රවී සිරිවර්ධන අතින් සහ පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියවෙන් ගීතය ශාමිලා හුසේන් අතින් ලියවීමයි .

ගීත දෙකෙහි සත්සර මුසු කරන්නේ රෝහණ වීරසිංහයන් සහ දර්ශන වික්‍රමතුංගයන් ..

ගීතයට ජීවය කවන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්  සහ කරුණාරත්න දිවුල්ගනේ යන ප්‍රවීණන් යුවලයි .

Thursday, October 1, 2015

මචං....................





එකට පංතියේ අකුරු කෙරුවා
එකට ඕ එල් ඇණ වුනා
එකම බීඩිය එකට බීලා
එකම වලකට සෙට් වුනා

උඹට වැඩිවෙලා අපේ ගෙදරයි
මම වැටුනේ උඹලගේ පැලේ
එකම කමිසය එකම කලිසම
කෙල්ලෝ දෙන්නෙක්  එක්ක යයි

මගේ නම ඇති උඹේ අකුරුයි
මගෙ අකුරු වල උඹේ නමයි
ලියු පෙම්පත් වලින් ගිනි මැල
හදන්නට හිටියෙත් උඹයි

ගල් ද පොල් සහ හැලි කරිඤඤo
ණයට බිව්වට ඇනතියං
කොත්තු කාලා බඩෙන් බාගෙට
දුමක් ඇද්දේත් හවුලේ බං

සමරේ අයියගේ බයික් කටුවට
තෙල් ගැහුවේ පිං කැට බිඳන්
මියුසිකල් ෂෝ වලට ගියේ අපි
හවුලේ එක හෙල්මට් එකෙන්

කොහොම හිටියත් ජීවිතේ බර 
ටිකක් වැඩියෙන් දැනුනයින්
උඹ රටගියා මම වීල් පැද්දා
එගොඩ වෙන්නට මේ දුකෙන්

උඹ ආ වේලේ මට සතුටු හිතුනා
සිහිවෙලා පෙර මිතු දම
මිතු සිනහ නෑ වල කතා නෑ
මට පුදුම හිතුනා උඹ ගැන

රටින් ගෙන ආ දිගටි සිකරට්
වැදුනේ නෑ බීඩිය වගේ
විස්කි සැර මට උහුලන්න බෑ
නෑ රසට රා ටික වගේ

විස්කි හරියට ගණන් වෙන්නැති
ඒත් අපි ඈතයි වගේ
බීඩියේ තිබු රසය නැත්තේ
ඈත බව දැනිලා වගේ

ලිං ගැට්ට උඩ රස්ති කළු ගල
තාම තියෙනවා ඒ වගේ
පාර අයිනේ ගාඩ් ගල් උඩ
වාත වූ හැටි මැවී පෙනේ

ඒ ඔක්කොම එහෙම ඉද්දීම
මචං උඹ ඈතයි වගේ



පිදුම පත්තර මල්ලිට 

Tuesday, September 29, 2015

කාකි පාට හීන




මිහිකත නලවාලා , මග මල් ගන්වාලා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 
මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 

අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා 
එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියා
මල්ලිට යන්න වුනා , රට රකිනටය කියා 
කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු කළා 

හීනය පසෙක තියා , සරසවි දෙස නොබලා 
කාකි ඇඳුම ඇන්දා ,  සාමය රකිමි කියා 
ආදර බස් තෙපලූ , සිහිනයේ කුමාරයා 
කාකි ඇඳුම හන්දා , නොකියම යන්න ගියා 

තාත්තේ තව දවසක් , පනනළ රැක දෙන්නම් 
නංගියේ කවදා හෝ , ඔබ රජ කරවන්නම් 
කාකි පැහැති සිහිනේ , පටු මාවත් අතරින් 
මගේ හෙට දවස දිහා , නෙත් දල්වන් ඉන්නම් 

Monday, September 21, 2015

දමනය 3



පෙ.ලි.

මේ කතාව ඇත්තෙන්ම ලියවෙන්නේ බස්සිගේ නවාතැනේ ,බස්සි විසින් ලියු දමනය නම් වූ කෙටි කතාව නිසයි. එහි ජෝෂුවා සහ මෙලීසා නම්වූ චරිත ද්විත්වයේ, ජෝශුවාගේ ඇසින් බස්සි අතින් ලියවුනු එම කතාවට දිගුවක් ලෙස මෙලිසාගේ ඇසින් ලියන්නට සිතුනු නිසා කතුවරියගේ අවසරය පිට මේ දිගුව මෙසේ මෙතැන පලකරමි .

දමනය 1

දමනය 2

*******


එදායින් පස්සේ ජෝෂුවා මට ඕන කරන විදිහට හසුරුවාගන්න මට කිසිම අපහසුවක් වුනේ නෑ . හැබැයි මට තිබ්බ එකම ප්‍රශ්නේ මේ යතුරු පුවරුව මගේ යටතේම තියාගන්නේ කොහොමද කියන එක. හැමදාම රෑට ජෝශුවාව නින්දට යවලා ආපහු පාන්දරම දුවගෙන ඇවිත් ජෝෂුවා ඇහැරෙන්න කලින් මෙතන වාඩිවෙන එක ටික දවසක් යනකොටම මට එපාවෙලා තිබ්බේ . ඊටත් වඩා ලොකුම ප්‍රශ්නේ වුනේ මිසිස් හන්ටර් මම නැති එක ගැන පැමිණිලි කරලා තිබ්බ නිසා .

එදා ගෙදර ගියාම “මෙලීසා ඔයා රසායන විද්යාාව පංතිය මග අරින්නේ ඇයි” අම්මගේ ඒ ප්ර්ශ්නය මට එක අතකට සැනසීමක් වුනා , ඒ කියන්නේ මම ඉස්කෝලේ ගිහිං රසායන විද්යාාව පන්තියට විතරයි ගිහිං නැත්තේ . කොහොමත් මිස්ටර් ඩේවිඩ් වත් , මිස්ටර් ඉයන් වත් ළමයි ඉන්නවද නැද්ද කියන එකගන කවදාවත් සැලකිලිමත් වුනේ නෑ. එයාලට ඕනවුනේ ඇපෙන් බේරෙන්න වගේ කොහොම හරි මොනවා හරි ටිකක් කියවලා යන්න විතරයි.

“ මෙලීසා.................. මෙලීසා...................... ඔයාට ඇහුනද මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ?”

“ඔ....ඔව් අම්මේ ම..ම....මං බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට හිටියා “

“ආ ඒත් ඔයා කවදාවත් මෙලෝඩිකාව ගෙනිච්චේ නෑනේ ...”

“ ඒ....ඒ...එකනේ අම්මේ මට හැමදාම අමතක වුනා , මම...... මම බලං ඉඳලා ආපහු ආවා “

අම්මගේ මූණ හොඳටම නරක් වුනා , එයා මොකක්ද කියන්න හදද්දිම ,හොඳවෙලාවට තාත්තා ගෙදර ආපු නිසා ඒ කතාව එතනින් නැවතුනා , මොකද අම්මා කැමති නෑ තාත්තා ඉස්සරහ අපේ ඉස්කෝලේ වැඩ ගැන කතා කරන්න , වෙන මොකවත් නෙවෙයි තත්වය අසතුටුදායක වුනොත් බැනුම් අහන්න වෙන්නේ අම්මටම නිසා .ඒ ඇසිල්ලෙන් මම කාමරේට පැනගත්තා .

Thursday, September 17, 2015

හීන දිගන්තේ



"මොන මගුලක්ද ඔය අහන්නේ දානවා නිව්ස්, දාගත්තා උදේ පාන්දරම කෙහෙල් මලක් "

දිසානායකගේ සද්දෙත් එක්කම ඊළඟට ඇහුනේ රේඩියෝවේ නිව්ස් යන සද්දේ ...

"දැන් ඔයැයි ඔය නිව්ස් ඇහුවම රට හැදෙයි ..."

"නෑ තමුසෙගෙ අර ටොම් පචයා හීන විසඳන එක ඇහුවම තමා රට හැදෙන්නේ .... ඔය හීනයා කිව්වේ මේ අවුරුද්දෙත් ආපහු සුනාමියක් ඇතිවෙනවා කියලා ? ලැජ්ජ නැතුව තවත් අහනවා ..."

තිලකා ගෙනාපු තේ පුරපවපු මග් එක “දොහ්” ගාලා මෙසේ උඩින් තිබ්බ පාරට තේ ටිකක් මේසෙට වැටිලා බිංදු කීපයක් වටේට ඉහිරුනා .. නහය පුම්බලා පුස් පුස් ගාලා දෙතුන් පාරක් පිම්බපු දිසානායක  ඔරවාගෙන යන තිලකා දිහා බලං කට කොනකට හිනාවෙන ගමන් තේ එක තොල ගාන්න පටන් ගත්තා .

"නෑ ඒයි...."
 තමන්ගේ තේ එකත් අතේ අරං උළුවස්සට හේත්තු වෙන ගමන් තිලකා කතාවක් පටන් ගත්තා .

"මම දැන් දවස් තුනක්ම එකම හීනේ දැක්කා , එක මොකක්ද කියලා අහලා යවන්න් හිතාගෙන තමා අද ඔය අහන්න ගත්තේ ..."

"ප්ප් ප්රුහ්....."
ගාලා හිනාවකුත් එක්කම දිසානායකට කටේ තිබ්බ තේ ඩිංග එලියට විසි වුනා ..

මේ මොන විගඩමක්ද මොකක්ද මනුස්සයෝ ඔය තරං හිනා යන්න වෙච්ච කෙලිය .."

දිසානායකගේ කටේ තිබිලා තමන්ගේ ඇඟට විසිවෙච්ච් තේ බිංදු පිහිදාන ගමන් තිලකා ආපහු ගස්සාගෙන කුස්සියට ගියා ..

Thursday, August 27, 2015

ස්වප්න සුවිසැරිය



ස්වප්නමය සුවිසැරිය ඇරඹිනි
මේ සුවැති නිද්‍රාවෙන්
මා වෙලෙන්නේ
සුවඳ කැවු නිද්‍රාවෙන්


නැතිරටේ චාරිකාවක් යමි
ටින්කර් බෙල්, පීටර් පෑන් සමගින්
දුෂ්ඨයා කැප්ටන් කුක් 
නපුරො නිතරම පැරදෙන එකම සුවයක්


තම්බලීනාය මම වසීලිස්සාට හොරෙන්
හත්පෙතිමලත් රැගෙන
මාෂා සමග  
වළහගේ කන්පෙත්ත උඩ ඔංචිලි පදින


පොපි ඇටයි සීනි කිරමයි
පාන් වළලූ කන්න ඕනේ එහෙමයි
ශේන්‍යා දැන් ඉරිසියාවෙන් පුපුරයි. 


කියන්නට ඕන ගාෆීල්ඩ්ට එන්නට කියා
ටොම් සහ ජෙරී සමගින්.
කන්නට සීනි
මිකී මවුස් එන්නට කලියෙන්  


ටොෆි හොරා ගැන ටිං ටිංට මම කිවුවොත්
ස්නූවි දේවි මට හොරු අල්ලන්න සතියක්
පිස්සු පූසා ඇයි අර එලවන්නේ කැප්ටන් හැඩොක් හේ පස්සේ  
බුබුළු නගියි බෙලිකටුවල මහ වැස්සේ


හිත මිතුරු කැස්පර්ට හාද්දක් දීලා
හා හා හරියි කියලා හාව පැන දිව්වා
වුඩී වුඩ් පෙකර් නම් - පරණ වඩු මඩුවෙමයි
පියාඹන හාද්දක් බෙන් ටෙන් ට යැව්වා


රෝඩ් රනර් ෂෝ වගේද අම්මේ
දුෂ්ඨය හැමතිස්සෙම පැරදෙන්නේ?
කවුද බෝයි වාගේමද අම්මේ
සාධාරණ යුක්තිය රජයන්නේ?


ඉතින් ඇයි 'නැගිටින්න ළමයෝ' කියන්නේ,
මේ සුවැති නිද්‍රාවෙන්
කටු ඇනෙයි - හිත තැලෙයි - මට බයයි
මේ ස්වප්න සුවිසැරිය මට සැපයි


පසු සටහන -

ගීතයක හෝ කවියක පසු කතාව ලිවීම සමහරවිට සමහරුන් නුරුස්නා දෙයක් විය හැක. එහෙත් මේ කවි සිතුවිල්ල උපදින්නේ අහම්බයක් නිසාය.  තාක්ෂණික තොරතුරු බ්ලොගය ලියන දයාබර නිමෝ හෙවත් "කොම්පියුටර් ඛාන්" නොහොත් "කොම්පියුටර් කන්නා" දුම්රියේ උදෑසන වැඩට යද්දී දුටු නිදා සිටින මේ දැරියගේ පින්තුරය වයිබරය තුලින් එව්වේ ,මෙන්න මේකට කවියක් ලියහන් කියාය.

සිතේ ඇතිවුණු සිතුවිලි අපිළිවෙලට කුරුටුගා කවිය පොලිෂ් කිරීමේ වගකීම මෙන්න මේ කවි බ්ලොගය ලියන , කවියටම උපන් පරපුරක කොටම පුරුකක් වන මෙන්න මේ ප්‍රතිභාපූර්ණ  කවි කාරියට පැවරීමි . ඉදින් කවිපද  කපා කොටා රණ්ඩු වී අවසානයේ මෙය පබිලිස් කිරීමට 3/3 ක ඡන්දයෙන් හැකි විය .
ස්තුතියි  නිමෝ සහ බස්සි