Tuesday, August 11, 2026

සංසලා III (අවසන් කොටස)

 

තුන්වැනි සහ අවසාන කොටස — ඇගේ කතාවේ අයිතිය




පසුදා උදෑසන සංසලා අවදි වූයේ නොනවත්වා නාද වන දුරකථනයේ හඬිනි.

තිරය මත මිහිරානිගේ නම දිස්වී තිබිණි. ඇමතුම් දාහතක්. කියවා නොතිබූ පණිවුඩ හතළිස් තුනක්. ඇය නිදා සිටි පැය කිහිපය ඇතුළත social media notifications සිය ගණනක් එකතු වී තිබිණි.

සංසලා ඇමතුමට පිළිතුරු දුන්නාය.

“හෙලෝ …”

“සංසලා, ඔයා කොහෙද?”

මිහිරානිගේ හඬ බියෙන් කැඩී ගොස් තිබිණි.

“ගෙදර. ඇයි?”

“දොර අරින්න එපා. කර්ටන්ස්  වහන්න. කාටවත් කතා කරන්නත් එපා.”

“මොකක්ද වෙලා තියෙන්නේ?”

දුරකථනයේ අනෙක් පැත්තෙන් තත්පර කිහිපයක් කිසිවක් ඇසුණේ නැත.

“ෆේස්බුක්  බලන්න එපා, සංසලා.”

එසේ කියූ මොහොතේම ඇය ෆේස්බුක්  විවෘත කළාය.

තිරය මත මුලින්ම දිස්වූයේ පාසල් නිල ඇඳුමින් සිටි පවන්ගේ ඡායාරූපයයි. එයට පසෙකින් සංසලාගේ සරසවිය සම්මාන රාත්‍රියේ ඡායාරූපයක් තබා තිබිණි. දෙක අතර රතු පැහැති ඊතලයක් ඇඳ, විශාල අකුරින් මෙසේ ලියා තිබිණි.

සංසලා ඇල්ලේපොළගේ ලෝකයෙන් සැඟවූ සැබෑ අතීතය!

ඊට පහළින් තිබූ ලිංක් එක විවෘත කිරීමට ඇයට අවශ්‍ය නොවීය. ප්‍රිවිව්  එකේම ඇගේ වෛද්‍ය වාර්තාවක කොටසක්, පාස්පෝට් ප්‍රමාණයේ පාස්පෝට් ප්‍රමාණයේ  ඡායාරූප පෙළ සහ පරණ හැඳුනුම් ලේඛනයක් පෙනෙන්නට තිබිණි.

ඇගේ අතේ තිබූ දුරකථනය ඇඳ මතට වැටිණි.

එම ගොනු තිබුණේ දෙදෙනෙකු ළඟ පමණි.

එක් අයෙකු ඇයයි.

අනෙක් පුද්ගලයාට ඒවා ලබාදී පැය දොළහක්වත් ගතවී තිබුණේ නැත.


පළමු වීඩියෝව පළවී මිනිත්තු හතළිහක් ඇතුළත එය නැරඹූ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය. දහවල් වනවිට යූ ටියුබ්  නාලිකා දුසිම් ගණනක් එම පුවත නැවත සකස් කර පළ කර තිබිණි. සමහරු වෛද්‍යවරු ලෙස කතා කළහ. තවත් අය නීතිඥයන්, සිනමා විචාරකයන් හෝ සංසලාගේ “සමීප මිතුරන්” ලෙස පෙනී සිටියහ.

ඇය කිසිදා හමු නොවූ මිනිස්සු ඇගේ ශරීරය, ළමා කාලය, ආදරය සහ වෛද්‍ය තීරණ ගැන රූපවාහිනී තිර මත තර්ක කළහ.

ඇතැම් පුවත් මාධ්‍ය ඇයගේ පෞද්ගලිකත්වය කඩකිරීම හෙළා දැක්කේය. කලාකරුවන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු ඇය වෙනුවෙන් කතා කළහ. එහෙත් සහාය පළ කළ පණිවුඩවලට වඩා වේගයෙන් අපහාස, විහිළු සහ ව්‍යාජ තොරතුරු පැතිරිණි.

සංසලාගේ නිවස ඉදිරිපිට මාධ්‍ය වාහන නතර විය. කැමරාකරුවෝ තාප්පයට ඉහළින් රූප ලබාගැනීමට උත්සාහ කළහ. දොරට තට්ටු කළහ. ජනේල අසලින් ඇගේ නම කෑගැසූහ.

දහවල් දොළහට අර්වින් ගජනායකගේ නවතම නිෂ්පාදනය වූ අවසන් අහස චිත්‍රපටයේ අවසාන පූර්ව ප්‍රචාරක පටය නිකුත් විය.

එහි ප්‍රධාන චරිතය රඟපෑවේ සංසලාය.

විනාඩි කිහිපයක් ඇතුළත ට්‍රේලර්  එක රටේ වැඩිපුරම නරඹන වීඩියෝව බවට පත්විය. ඔන්ලයින්  ප්‍රවේශපත් වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියට පැමිණි අධික පිරිස හේතුවෙන් එය වරින් වර ක්‍රියා විරහිත විය. සතියකින් පැවැත්වීමට නියමිත මංගල දර්ශනය ගැන රටම කතා කරන්නට පටන් ගත්තේය.

මාස ගණනක් මුදල් වැය කර ලබාගත නොහැකි වූ ප්‍රචාරය, එක් උදෑසනකදී නොමිලේ ලැබී තිබිණි.

රාජීව් එය කලින්ම දැන සිටියේය.


“ඔයා මේක කළාද?”

සංසලාගේ ඇමතුම ලැබෙන විට රාජීව් සිටියේ ගජනායක මාධ්‍ය සමාගමේ බෝඩ් රූම් එකකය. ඔහු ඉදිරියේ විශාල තිරයක ට්‍රේලර් වීව්  සහ ඇඩ්වාන්ස් බුකින්ස්  සජීවීව ඉහළ යමින් තිබිණි.

“සංසලා, මුලින් මම කියන දේ අහන්න.”

“මම ඇහුවේ ඔයා මේක කළාද කියලා.”

“මම කාටවත් ඔයාට අපහාස කරන්න කිව්වේ නැහැ.”

එම පිළිතුරෙන් ඇයට අවශ්‍ය තහවුරු කිරීම ලැබිණි.

“ඒ කියන්නේ ඔයා දුන්නා.”

“මේක කන්ට්‍රෝල්  කරන්න පුළුවන් කියලා මම හිතුවේ. අපිට ඔෆීෂියල් ස්ටේට්මන්ට්  එකක් දීලා නැරෙටිව්  එක අපේ පැත්තට ගන්න පුළුවන්. ෆිල්ම්  එකටත්—”

“ෆිල්ම්  එකටත් මොකක්ද?”

රාජීව් නිහඬ විය.

“කියන්න, රාජීව්. ෆිල්ම්  එකටත් හොඳයිද? ඒ කියන්නේ ඔය ෆිල්ම් එක දුවවන්න මගේ ආත්මයම නිරුවත් කළා ”

“ඒක මම අදහස් කළ විදිහ නෙවෙයි.”

“ඔයා අදහස් කළේ මොන විදිහට වුණත් දැන් ඒක වෙලා ඉවරයි.”

“මම ඔයාව ආරක්ෂා කරන්නම්.”

සංසලා සිනාසුණාය. එහෙත් ඒ සිනහවේ සතුටක් නොතිබිණි.

“මාව ආරක්ෂා කරන්න තිබුණේ මම ඔයාට මගේ ෆෝන්  එක දුන්න වෙලාවේ.”

ඇය ඇමතුම විසන්ධි කළාය.

රාජීව් නැවත ඇමතුවේය. ඇය පිළිතුරු දුන්නේ නැත. තුන්වැනි ඇමතුමෙන් පසුව දුරකථනය ක්‍රියා විරහිත කළාය.


එදින රාත්‍රියෙන් පසුව සංසලා අතුරුදන් වූවාය.

ඇගේ නිවස හිස්ව තිබිණි. දුරකථනය ක්‍රියා විරහිතය. මිහිරානි ඇය සිටින තැන නොදන්නා බව කීවාය. ඉන්දියාවේ ඇගේ පැරණි කළමණාකරු  මාධ්‍ය ඇමතුම්වලට පිළිතුරු දුන්නේ නැත.

සමාජ මාධ්‍ය තුළ ඇය රටින් පිටවූ බවටත්, රෝහල්ගත කර ඇති බවටත්, ජීවිතයට හානි කරගෙන ඇති බවටත් එකිනෙකට පරස්පර කතා පැතිරිණි. කිසිදු කතාවකට තහවුරු කළ සාක්ෂියක් නොතිබිණි.

පොලිසිය කෙටි නිවේදනයකින් පැවසුවේ ඇයට අනතුරක් සිදුව ඇති බවට තොරතුරක් නොමැති බවය. එහෙත් එම නිවේදනය කටකතා නතර කිරීමට ප්‍රමාණවත් නොවීය.

අර්වින් චිත්‍රපටයේ මංගල දර්ශනය කල් දැමීමට අකමැති විය.

“අපි දැන් නතර කළොත් හැමෝම හිතන්නේ අපි වැරැද්දක් කළා කියලා,” ඔහු කීවේය.

රාජීව් පියා දෙස බැලුවේය.

“අපි වැරැද්දක් කළා.”

“අපි?” අර්වින්ගේ හඬ පහත් විය. “මම උඹට පබ්ලිසිටි කැම්පේන්  එකක් කරන්න කිව්වා. කාගේවත් මෙඩිකල් රිපොර්ට්ස් reports හොරකම් කරන්න කිව්වේ නැහැ.”

රාජීව් කිසිවක් කීවේ නැත.

“මේක ඉවර වුණාට පස්සේ උඹ මගේ කොම්පැණි  එකෙන් අයින් වෙනවා,” අර්වින් කීවේය. “ඒත් ප්‍රිමියර්  එක නවතින්නේ නැහැ.”

අර්වින්ට තම පුතා කළ දේ පිළිකුල් විය. එහෙත් ඒ පිළිකුලට වඩා රුපියල් කෝටි ගණනක ආයෝජනය ඔහුට බර විය.


අවසන් අහස මංගල දර්ශනය පැවැත්වූ රාත්‍රියේ සිනමා ශාලාව ඉදිරිපිට වෙනදාට වඩා වැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි. එක් පසෙක චිත්‍රපටය නැරඹීමට පැමිණි ආරාධිතයෝ සිටියහ. අනෙක් පසෙක සංසලාගේ පෞද්ගලිකත්වය කඩකිරීමට විරෝධය පළ කළ පිරිසක් පුවරු රැගෙන සිටියහ.

මාධ්‍ය කැමරා සියල්ල රාජීව් දෙසට යොමු විය.

“සංසලා කොහේද?”

“ඇය සමඟ අවසන් වරට කතා කළේ කවදාද?”

“වෛද්‍ය වාර්තා පිටවීම සම්බන්ධයෙන් ඔබගෙන් පොලිසිය ප්‍රශ්න කළාද?”

රාජීව් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදී රතුපලස  එක දිගේ ගියේය.

අර්වින් සිනමා ශාලාවේ දොරටුව අසල ආරාධිතයන් පිළිගනිමින් සිටියේය. චිත්‍රපටය ආරම්භ වීමට තිබුණේ මිනිත්තු පහළොවකි.

ඒ මොහොතේ සිනමා ශාලාව ඉදිරිපිට කළු පැහැති මෝටර් රථයක් නතර විය.

පළමුව එයින් බැස ආරක්ෂක නිලධාරියෙක් පිටුපස දොර විවෘත කළේය.

කැමරා ආලෝක සියල්ල එකවර එදෙසට හැරිණි.

වාහනයෙන් බැස්සේ සංසලා ඇල්ලේපොළය.

පිරිස අතරින් නැඟුණු හඬ තත්පර කිහිපයක් තුළ ඝෝෂාවක් බවට පත්විය. මාධ්‍යවේදීහු ආරක්ෂක වැට දෙසට තල්ලු වූහ. රාජීව් සිටි තැනම නතර විය.

සංසලා ඇඳ සිටියේ ආභරණ රහිත සරල සුදු පැහැති ඇඳුමකි. ඇගේ මුහුණේ බියක් හෝ කලබලයක් නොතිබිණි. ඇය රතුපලස  මැදට පැමිණ නැවතුණාය.

“සංසලා, ඔබ පවන් සත්සරමද?”

පළමු ප්‍රශ්නය පිරිස අතරින් එල්ල විය.

සංසලා මයික්‍රෆෝන්  කිහිපයක් දෙස  බැලුවාය.

“පවන් කියන්නේ මගේ ජීවිතයේ මම ප්‍රතික්ෂේප නොකරන කොටසක්,” ඇය කීවාය. “ඒත් අද ඔබ ඉදිරියේ සිටින්නේ සංසලා ඇල්ලේපොළ. මගේ අතීතයටත්, වර්තමානයටත්, මගේ ශරීරයටත් අයිතිය තියෙන්නේ මට. ඒවායින් එකක්වත් වෙන කෙනෙකුට විකුණන්න අයිතියක් නැහැ.”

“ඔබගේ වෛද්‍ය වාර්තා මාධ්‍යයට දුන්නේ කවුද කියලා ඔබ දන්නවාද?”

සංසලාගේ බැල්ම සෙමින් රාජීව් දෙසට හැරිණි.

“ඒ ලිපිගොනු තිබුණේ පුද්ගලයන් දෙදෙනෙකු ළඟ විතරයි,” ඇය කීවාය. “එක්කෙනෙක් මම. අනිත් කෙනා අද මෙතැන ඉන්නවා.”

සියලු කැමරා රාජීව් දෙසට හැරිණි.

“ඔබ රාජීව් ගජනායක ගැනද කියන්නේ?”

“ඔබට සාක්ෂි තියෙනවාද?”

“ඔබ නීතිමය පියවර ගන්නවාද?”

සංසලා ඒ කිසිවකට පිළිතුරු දුන්නේ නැත.

අර්වින් ඇය වෙත පැමිණීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරීහු සහ මාධ්‍ය පිරිස අතර ඔහු නතර විය.

“ඔබ අද චිත්‍රපටය නරඹනවාද?” තවත් මාධ්‍යවේදියෙක් ඇසුවේය.

සංසලා සිනමා ශාලාවේ විශාල පෝස්ටරය දෙස බැලුවාය. එහි ඇගේ මුහුණට පහළින් අර්වින් ගජනායකගේ නම රන් පැහැති අකුරින් මුද්‍රණය කර තිබිණි.

“නැහැ,” ඇය කීවාය. “මම අද ආවේ ඔවුන්ගේ චිත්‍රපටය බලන්න නෙවෙයි. ඔවුන් අවසානය ලියා ඉවර කළා කියලා හිතපු මගේ කතාවේ පෑන නැවත මගේ අතට ගන්න.”

ඇය ආපසු හැරී මෝටර් රථය වෙත ගියාය.

රාජීව් ඉදිරියට පියවරක් තැබුවේය.

“සංසලා!”

ඇය නතර වූයේ නැත.

වාහනයේ දොර වැසුණි. මිනිත්තු කිහිපයකට පෙර පැමිණි ආකාරයටම ඇය නැවත අතුරුදන් වූවාය.


අවසන් අහස චිත්‍රපටයට පළමු සතියේදී වාර්තාගත ආදායමක් ලැබිණි.

රාජීව් සිතා සිටි දේ වැරදි නොවීය. මිනිසුන් චිත්‍රපටය නැරඹීමට පැමිණියහ. සමහරු සංසලාට සහාය දැක්වීමටය. තවත් සමහරු කුතුහලය නිසාය. කුමන හේතුවෙන් පැමිණියත් ඔවුන් මිලදීගත් ප්‍රවේශපත් සියල්ල එකම ආදායම් වාර්තාවට එක් විය.

එහෙත් එම සාර්ථකත්වය සැමරීමට ගජනායක පවුලට හැකි වූයේ නැත.

සංසලාගේ නීතිඥයන් ඇගේ වෛද්‍ය වාර්තා සහ පෞද්ගලික ලේඛන නීතිවිරෝධීව ලබාගෙන ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ආරම්භ කළහ. අර්වින් තම පුතා සියලු තනතුරුවලින් ඉවත් කළේය.

රාජීව් ප්‍රසිද්ධියේ කිසිවක් පිළිගත්තේ නැත. එහෙත් ඔහු ප්‍රතික්ෂේප කළ සෑම වාරයකම මංගල දර්ශනයේදී සංසලා කී එකම වාක්‍යය නැවත පළ විය.

එක්කෙනෙක් මම. අනිත් කෙනා අද මෙතැන ඉන්නවා.

සංසලා නැවතත් මහජනතාව ඉදිරියේ පෙනී සිටියේ නැත.


මාස අටකට පසුව මුම්බායි නගරයේ විශාල ප්‍රචාරක පුවරුවක  කිහිපයක එකම පෝස්ටරයක් දිස්විය.

ඉන්දියානු සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂක ආදිත්‍ය රාඕ වසර හතරකට පසුව අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය—අනන්‍යා.

පෝස්ටරයේ සිටියේ සංසලාය.

ට්‍රේලර්  එක නිකුත් වන තෙක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ කවුදැයි නිෂ්පාදන කණ්ඩායම හෙළි කර තිබුණේ නැත. සංසලාද කිසිදු සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූයේ නැත. ඇගේ අතීතය ගැන හෝ ලංකාවේ සිදුවූ දේ ගැන චිත්‍රපටයේ ප්‍රචාරණය සඳහා එකම වචනයක්වත් භාවිත නොකළාය.

අනන්‍යා තිරගත වූ පළමු සතියේදීම ආදායම් වාර්තා බිඳ දැමීය. එහෙත් එහි සාර්ථකත්වය කුතුහලයෙන් පමණක් පැහැදිලි කළ නොහැකි විය. විචාරකයෝ සංසලාගේ රංගනය ඇගේ ජීවිතයේ හොඳම රංගනය ලෙස හැඳින්වූහ. චිත්‍රපටය ඉන්දියාවෙන් පිටතද සාර්ථක වූ අතර, වසර අවසානයේ ප්‍රධාන සිනමා සම්මාන සඳහා ඇගේ නම නැවත නිර්දේශ විය.

කොළඹ සිනමා ශාලාවකද අනන්‍යා ප්‍රදර්ශනය ආරම්භ විය.

එහි පළමු දර්ශනයට රාජීව් පැමිණියේ තනිවමය. ඔහු ප්‍රවේශපත් ගත්තේ online නොව, කිසිවකු හඳුනා නොගත් සිනමා ශාලාවක කෙළවරේ counter එකකිනි. ශාලාවේ අවසාන පේළියේ අසුනක වාඩි වූ ඔහු, විශාල තිරය මත සංසලාගේ මුහුණ දිස්වන විට නොසෙල්වී බලා සිටියේය.

චිත්‍රපටයේ එක් දර්ශනයක ඇගේ චරිතය මෙසේ කීවාය.

“මම අතුරුදන් වුණේ පරාජය වෙලා නෙවෙයි. මගේ කතාවට ඔයා ලියපු අවසානය පිළිගන්න මම කැමති නොවුණු නිසා.”

ශාලාව පුරා අත්පොළසන් හඬක් නැඟිණි.

රාජීව් තම දුරකථනය පිටතට ගත්තේය.  මකා නොදැමූ සංසලාගේ අංකය තෝරා ඇමතුමක් ලබාගත්තේය.

ඔබ ඇමතූ දුරකථන අංකය භාවිතයේ නොමැත.

ඔහු ඇමතුම විසන්ධි කළේය.

සිනමා ශාලාවෙන් පිටත සංසලාගේ දැවැන්ත පෝස්ටරය රාත්‍රී ආලෝකයෙන් දිලිසෙමින් තිබිණි. එහි පහළින් විශාල අකුරින් ලියා තිබුණේ වචන හතරකි.

නව ලෝක ආදායම් වාර්තාවක්

එම පෝස්ටරය යටින් රාජීව් තනිව සිටියේය.

ඔහු වරක් පවන්ගේ ජීවිතයෙන් අමතක වී ගියේය.

දෙවැනි වර සංසලා ඔහුව තම ජීවිතයෙන් ඉවත් කර තිබිණි.

මෙවර ඇය ආපසු පැමිණියේ නැත.

15 comments:

  1. හ්ම්......ඇල්ලෙන් පහලට තල්ලු කරපු කැටගරියෙම තමා. දරුණු පාවා දීමක්. මිනිස්සු කියන්නෙ කලු-සුදු වරිත බව ඇත්ත. ඒත් සමහරු, තමන්ගෙ වාසියට, එකට ඉන්න එකාව විකුණනවා. මමත් දන්න ඔහොම අය කීපදෙනෙක් ඉන්නවා.

    කතාව හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බසු , ඒත් මේ කතාව දාන්න ගිහිල්ලා බ්ලොග් එපාවෙලා ඉන්නේ , කිසිම වෙනසක් කලේ නැතුවත් බ්ලොග එක අප්ඩේට් වෙන්නේ නෑ . මගේ බ්ලොග් රෝලේම අප්ඩේට් වෙන්නත් නෑ . කතාව අද අප්ලෝඩ් කලොත් පහුවදා තමා අප්ඩේට් වෙන්නේ.
      කමෙන්ට් වලට රිප්ලයි කරන්න බෑ , රිප්ලයි වැටෙන්නේ ඇනොනිමස්වෙලා . එක රිප්ලයි එකක් දාන්න දහදුක් විඳින්න ඕන. මට එපාම වෙලා ඉන්නේ , අර යුපුන්ගේ පරනන් පොස්ට් එකක් දැම්මෙත් අප්ලෝඩ් වෙන්නේ නැති නිසා චෙක් කරගන්න , එක කොයිවෙලේ අප්ඩේට් වුනාද දන්නේ නෑ හපොයෝ

      Delete
    2. අප්සෙට් ගහන්න එපා. ඉඳලා,හිටලා ඔහොම වෙනවා.මටත් වුනා. බ්ලොගර්ගෙ අවුලක්. හැබැයි, ටික දොහකින් ඉබේම හරි යනවා. දැන් ඔය අගේට අප්ඩේට් වෙන්නෙ.

      Delete
    3. ඒ අප්ඩේට් වුනාට ෆොටෝ එක පෙන්න පේජ් බ්රේක් එක දැම්මොත් අප්ඩේට් වෙන්නේ නෑ

      Delete
  2. කලින් කීව වගෙ කතාව උඹ ටිකක් ස්පීඩ් ලියන් ගියා. ඒත් ප්ලොට් එක මරු. හිතන්න පැති කීපයක් තියානව. ඒ අතරෙ මට මේ ලඟදි දෙමළ සිනමාවේ සිදුවීමක් එක්ක බුලින්, සයිබර් බුලින් ගැන පොඩ්ඩක් හිතන්න පෙළඹුනා.
    අපිට අනුන්ගෙ පර්සනැලිටිය ගැන වගේ වගක් නැද්ද මන්ද සමාර වෙලාවට 💔

    ReplyDelete
    Replies
    1. මට දිගට ලියන්න කම්මැලියි බං . මේකෙන් දිග කතාවක් ලියන්න පුළුවන් එත් මට එච්චර ඉවසීමක් නෑ .

      Delete
  3. සල්ලිම රජයන ලෝකෙක
    විකුණන විකිණෙන ලෝකෙක
    ඉන්නා විට- බලන් අහක
    තනි කෙනෙකුට සිටිතෑකිද

    සංසලාගෙ ගති නියමයි
    මට දැනෙන්නෙ උගුල ඇගෙයි
    ගොදුර වුණේ රාජීවයි
    plot එක කදිමයි; නියමයි!

    ReplyDelete
  4. බ්ලොගර් ඔහොම පිස්සු කරනව සමහර වෙලාවට. බලාගෙන හිටපං. හරියාවි. ආ කතාව නිකං අයිස්ක්‍රීම් කෑව වගෙ.

    ReplyDelete
    Replies
    1. නිකං අයිස්ක්‍රීම් කන්නැතුව ජෙලි ටිකක්වත් දාගෙන කන්න මීට පස්සෙ.

      Delete
    2. අන්න පරණ හැලප කම්නෙට් එකක්

      Delete
  5. එලියට් පේජ්ට වැඩිය හොඳට කරල

    ReplyDelete
    Replies
    1. එයා කැනේඩියන් ඇට්ටර මම සිරි ලංකන් ඇට්ටර

      Delete
  6. රාජීව් ඉල්ලං කාල වගේ.
    මොනව උනත් බ්ලොග් වල කතාවක් මෙච්චර ඉක්මනට ඉවර කරන එකෙක් දැක්කමද කොහෙද. අර රවි අයිය වගේ උනානං මේක අවුරුදු තුනක්වත් ඇදගෙන යයි.

    ReplyDelete
    Replies
    1. දිගට ලියන්න කම්මැලියි අප්පා , මට ඒ ඉවසීම නෑනේ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]