වෙච්ච සීන් ලේබල් එකට කතාලිව්වේ මුල් කාලේ විතරමද මන්දා ? කොහොම වුනත් වෙච්ච සීන් එකක් ලියන්න හිතුනත් ආපහු මොකක් හරි සීන් එකක් නිසා වෙච්ච සීන් එක ලියන්න බැරිවෙනවා.
අනික මෝරා දැන් බ්ලොග් කියවන්න පටන් ගෙන නිසා ලියන්න බයයි, මොකද වෙච්ච සීන් ලිව්වොත් මෝරා ඒ ඔක්කොටම වගේ සම්බන්ධ නිසා.මෝරා කියන්නෙන් ස්කොලේ කාලේ මගේ අතිජාත මිත්‍රයා ,මම මීට බොහොම කාලෙකට කලින් ලියපු "
" කතාවේ හිටපු මෝරම තමයි .
අපි උසස්පෙළ පන්තියට එනකොට ඉතින් මෝස්තරේට වගේ උසස්පෙළ පන්ති යන එක ගැන ආයේ විස්තර කියන ඕනේ නෑනේ , මේ A/L පන්ති යනකොට ඉතින් නොයෙක් අයගේ නොයෙක් අරමුණු තිබ්බා ,
ඕකී මෙකී නොකී හැම හේතුවක් නිසාම වගේම ගිහිල්ලා බලන්නත් ක්ලාස් යන්නම් වුනා , කොහොම වුනත් බොහෝ වෙලාවට ක්ලාස් එකට දිගටම යනවද නැද්ද කියන එක තීරණව වුනේ , සර්ගේ හොඳකමවත් ,උගන්නන දේවල් හොඳවීම වත් නෙවෙයි ඉන්න ගෑල්ලමයි ප්‍රමාණය සහ උන්ගේ කොලිටිය ...
මට බොහෝ වෙලාවට ඔය ක්ලාස් හැම එකකටම එක දවසක් හරි යන්න වුනා , මොකද නිල පෙම් හසුන් ලියන්නා හැටියට එක එකාගේ ගෑල්ලමයි බලන්නයි උන්ට ලියුම් ලියන්නයි , ඒ වගේම අධික ගාස්තුවක් අය කරගෙන (රුපියල් දහයක් විතර ) ඒ ලියුම් ගිහින් දෙන්නයි වගේ අතිශය භාරදූර කාර්යයන් වලට මගේ දායකත්වය නොමසුරුව දීමේ ප්‍රතිපලයක් හැටියට . ලියුම් ගිහින් දෙන්නේ මෝරා මොකද උගේ හැකර කටට බයේ ඌ බෝම්බයක් දුන්නත් කෙල්ලෝ ගන්නවා
මේ යන ගමන් වලට මෝරා සහභාගී කර නොගැනීම මගේ විරුද්ධත්වයට හේතුවක් නිසා ,ලියුම් ලිවීමේ ආනුභාවයෙන් මගේ උදහසට ලක්වෙන්න කවුරුත් කැමති වුනේ නෑ.
හාපුරා කියල පටන් ගන්න අලුත් ෆිසික්ස් ක්ලාස් එකකට ගියේ ඔය එකකට වත් නෙවෙයි ,මචන් හොඳට ඉගෙන ගෙන එලට එක්සෑම් කරමු කියල මායි මෝරයි දෙන්න දැඩි එකඟතාවයකට ආපු නිසා ..
උනන්දුවේ තරම කියන්නේ ගිහින් වාඩිවුණේ ඉස්සරහ ඉඳන් දෙවැනි පේලියේ පන්තියේ මැදින් තියෙන පාරේ පැත්තට වෙන්න , එහා පැත්තේ ගෑනු ළමයි ...
මං අයිනේම මෝරා මට ඇතුල් පැත්තෙන් පිරිමි ළමයි පැත්තට වෙන්න තමයි වාඩිවුණේ .අනිත් එවුන්ට ලියුම් ලියලා , ලියපු ලියුම් ගිහින් දීලා , උන්ගේ පවුල් ප්‍රශ්න විසඳලා , එක එකාව ශේප් කරලා , අඬන එවුන් නලවලා , බූට් කාපු ඇනගත්තු එවුන් සනසලා මට ලව්කරනවා කියන එක නිකං වහ කදුරු වගේ වෙලා තිබ්බේ , මොකද යකෝ මෙහෙම හොටු පෙරාගෙන අඬන්න ලව් කරන්න ඕනෑයි.
$$$$$$$$$$$$$$$
ක්ලාස් එක නැගලා යනවා ..... අපිත් පුදුම උනන්දුවකින් දැන් අහගෙන ඉන්නවා .
"එක්ස්කියුස් මී ..." හරිම සුමුදු ලස්සන කටහඬකින් කතා කරන සද්දයක් ඇහුනා ..
කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න ..මට එක සැරේම මතක් වුනේ ඒ පදය
හැරිලා බැලුවා ... අම්මේ ......
නෙලුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැලුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල්පෙති දෙන්න
ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැලි දෙන්න
ඉරට හඳට එලිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එලන්න ඔබෙ කේරැල දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න
සින්දුවේ ඉතුරු ටිකත් මතක් වුනේ නිකං කෆීර් එකක් නැග්ගුවා වගේ ...
"ම්ම්ම්ම්ම් මො මො මොකද ?කියලා ඇහුවා නෙවෙයි පැටලිලා පැටලිලා ඇහුනා ...
"අනේ ප්ලීස් මගේ රෙඩ් පෙන් එක වැටුනා ඔය ඔයාගේ කකුල ගාව ,තරහා නැතුව අරන් දෙනවද?"
ඒ ටික ඇහුණාම මාව නිකං සීතල වෙලා ගියා .. ඔක්කොම පැත්තක තියලා මම හිටගත්තා .... අයියෝ අර කෙල්ල ඔලුවේ අත ගහ ගත්තා ...මට තාම කරන්න ඕන මොකක්ද කියලා නිනව්වක් නෑ , හිටගෙන ඇඹරෙනවා .
" මොකක්ද ළමයා හිටගෙන කරන්නේ .....ඇයි..?"
" නෑ සර්..."
පටස් ගලා වාඩිවෙලා පෑන ඇහිඳගත්තා ...
දික්කලා ඒ පැත්තට ... "තැන්ක්ස්" අනිත් කෙල්ලෝ ටික ලේන්සු හපාගෙන හිනාවෙනවා , අද ඉවර වුනු ගමන් පට ගාලා මාරුවෙන්න් ඕනේ නැත්තම් බඩුම තමා ..එවෙලේම හිතා ගත්තා . මෝරා සද්දයක් නෑ.. ඒක තමයි ලොකුම අවුල ,මූ මොන කෙලියක් කරයිද දන්නේ නෑ ,
$$$$$$$$$$$$$$$
ක්ලාස් එක ඉවර වෙලා යන්න ගිහින් කෝකටත් කියලා ගේට්ටුව ලඟට වෙලා හිටියා ... මෙන්න අර කෙල්ල දැක්කෙවත් නෑ වගේ ගියා ... අයියෝ සල්ලි
මායි මෝරයි ඉතිං අශ්වයා මැරිච්ච ජෝකියෝ වගේ ගෙදර ආවා , කවදාවත් නැතුව මෝරා නිශ්ශබ්දයි , එක තමයි උහුලන්න බැරි . ක්ලාස් එකේ සිද්ධ වෙච්ච සියල්ලම මේකා දැක්කනේ , අද ඉඳලා හමාරයි . ගෙදර ලඟට යනකොට මෙන්න වැට ළඟ අම්මා එක්ක චාන්දනී අක්කා කතාවක් , අපේ අම්මගේ Bridal Dressing ව්‍යාපාරේ සමහර වෙලාවට දුර යන වැඩක් සෙට් වුනාම අම්ම එක්ක යන්නේ චාන්දනී අක්කව . එහෙම කීප වතාවක් දැකලා කතා කරලා තිබ්බට මං වැඩිය එයත් එක්ක ආශ්‍රයක් තිබ්බේ නෑ.
" ආ මල්ලි එන ගමන්ද? "
" ඔ ඔ ඔ ඔ ඔව් අක්කේ ....."
ගොත ගැහුනේ ඇයි .. ගොත ගැහෙන්නේ නැතුව තියෙයිය ... මෙන්න අර රෙඩ් පෙන් ගෑල්ලමයා ඉන්නවා චාන්දනී අක්කගේ අතේ එල්ලිලා ...
දෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අපි හමුවුනේ...
අහක් බලන් හිටියේ හරියට දැකලවත් නැති ගානට
"ආ මල්ලි කලින් අපේ නංගිව දැකලා නෑනේ නේද? අද තමයි මෙහෙ ක්ලාස් ආවේ "
ඒ පාරනම් යාන්තම් හිනාවුනා ..
මගේ හිනාව නිසා ඇලදිවත් පෙනුනද මන්දා ... මෝරයි මායි ගේ ඇතුලට ගියා .. ඒ වුනාට හිත නම් දොරෙන් ඇතුලට ගන්න බැරිවුනා .
මෝරා තාම සයිලන්ස් ...
$$$$$$$$$$$$$$$
"මචං ... "
"මොකෝ"
"මේ අර කෙල්ලගේ අක්ක අපි දන්නවනේ බන් කලින් "...ඒ මෝරා
" මොන කෙල්ලද .." මම එහෙම නොදන්න පාට් එකෙන් කිව්වට මගේ කන්දෙක රත් වෙනවා මට හොඳින්ම දැනුනා .
"අර උඹ ක්ලාස් එකේදී පෑන අහුලලා දුන්නේ බ්රේක් ඩාන්ස් දාලා "
අම්මප ඔය කතාවලට තමයි මුගේ බෙල්ල අඹරවන්න හිතෙන්නේ
"දැන් මොකක්ද උඹ කියන්න තටමන්නේ ... මං ඒ කෙල්ලට පෑන අහුලලා දුන්නා කියලා උඹ හිතුවද මං ඒකිට ලව් කියලා "
මම හිතුවේ මෝරා - ඉතින් බං ලව් කරපංකෝ මම ෆුල් සපෝට් කියයි කියලා
එත්
" අපෝ නෑ ..උඹ ඔය ලව් සීන් වලට වැඩි උනන්දුවක් නැති එකා කියලා මම දන්නවනේ ... මට නම් එකී දැක්ක වෙලේ ඉඳන් හරි අමුතුයි බං... මට හිතෙනවා මම මෙච්චර කල් හොයා හොයා හිටපු කෙල්ල හම්බවුනා වගේ කියලා ...."
අනේ දෙයියනේ මීට වඩා හොඳ නැද්ද ඔලුවට කුලුගෙඩියකින් ගැහුවනම් ,
" කවුද දන්නේ එකී දැනටමත් කොල්ලෙක් එක්ක සෙට්ද කියලා ...." මං ඒටික කිව්වේ හරිම අමාරුවෙන්
"පලයන් බන් යන්න ඒකිට කොල්ලෙක් නෑ ..." මෝරා ඇඳේ තිබ්බ කොට්ට දෙක එක සැරේම පොළොවේ ගහලා නැගිට්ටා
"උඹ කොහොමද දන්නේ "
"ඇයි මැටි ගෙම්බෝ කොල්ලෙක් ඉන්නවනම් අක්ක එක්කන් යන්න එනකං බලං ඉන්න ඒකිට මාන්දමද "
"හ්ම්ම්ම්"
"මේ මචෝ ..."
"ඇයි? "
"උඹලා අම්මා උන්ගේ ගෙදර දන්නවා ඇතිනේ ...
"හ්ම්ම්ම්"
" අපි පාර අහගෙන නිකං විසිට් එකක් දාලා එමුද '
"ම්ම් හ්ම්ම්"
"මොකද උගුඩුවො හ්ම්ම් හ්ම්ම් ගාන්නේ හැම එකටම , උඹට අනික් හැම එකාටම සපෝට් කරන්න පුළුවන් මට සහයෝහ්ගයක් දෙන්න තමයි බැරි නේද?"
" හා හා ඉතින් බෑ කිව්වේ නෑනේ .."
" මේ උඹ ඒකිට ට්‍රයිද ?"
"කවුද ...? මම....? පිස්සුද උඹට .. එහෙම එකක් නෑ "
"අනේ මචං එහෙනං ආන්ටිගෙන් අහපන්කෝ ගෙවල් තියෙන්නේ කොහෙද කියලා ."
"පිස්සුද යකෝ ...පුත්‍ර භාවය අහෝසිවෙන වැඩනේ තෝ කියන්නේ"
ඒ පාරනම් මෝරාට මලම පැන්නා ....
"හරි උඹ එපා මමම ආන්ටිගෙන අහන්නම්කො ..."
"හැබැයි පොලොස් කොට්ටෝරුවා උඹ ඕක මගේ නම විකුනලා එහෙම අහලා තිබ්බොත් මම තෝව හම ගහනවා "
"පල යන්න හිටපන්කෝ කියපු මෝරා අපේ අම්මගේ ඔෆිස් කාමරේ වගේ තිබ්බ ගෙදර ඉස්සරහම කාමරේ පැත්තට ගියා "
$$$$$$$$$$$$$$$
විනාඩි පහක් ගියේ නෑ , හතරැස් රත්තරන් පාට පෙට්ටියක් අතේ තියාගත්ත මෝරා ,නට නටා කාමරේ ඇතුලට පැන්නා.
"දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා ,දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා .."
" මොකද --- කෝ . ඔහ තව පොඩ්ඩෙන් තීන්ත කුප්පිය...." මෝරා නටපු නැටිල්ලට මම මගේ හීරෝ තීන්ත පෑනට තීන්ත දදා හිටපු කුප්පිය තව ටිකෙන් හතරවරම් ගහනවා ,
"මචන් ප්‍රගියා .. ඔන්න දෙයියෝ අපි දිහා බැලුවා ..අපි කිව්වට මගේ දිහා ..."
"ඇයි..."
"මේ තියෙන්නේ ගැලවුම් කරු .....ආන්ටි කිව්වා උඹත් එක්ක ගිහින් හෙට ඉස්කෝලේ අරුණට පස්සේ මේක චාන්දනී අක්කට දීල එන්න කියලා .."
"මොකක්ද ඔය .."
"මොකක් වුනාම අපිට මොකද බං.... දෙවියනේ අද සිට මම ඔබ කෙරෙයි ඉමහත් භක්තියෙන් කල් ගෙවමි ..."
"හොල්මං..... මුගේ විකාර ... " කොහොම වුනත් අර ගෑල්ලමයා දකින්න මගේ හිතෙත් ලොකු ආසාවක් නලියන බව මට දැනුනා , එත් වැඩක්යැ ... අපි පුවක් ගහක නැග්ගොත් එකෙත් දෙබලක් ... මූටත් එකිවම ඕන වුනානේ ,ෂෙක් ....
$$$$$$$$$$$$$$$
"මේ මතක් ඇතුව හුලං ගහන් වරෙන් අදම ..නැත්තම් උඹ හෙට කිව්වොත් ඩබල් දාන්න බෑ හුලන් මදි කියලා තොවත් බාවලා බයිසිකලෙත් ගිනි තියනවා , මම යනවා කොන්ඩේ කපන්න "
මටත් සද්දයක් දාලා මෝරා යනවා කොන්ඩේ කපන්න . මූ ලැස්ති වෙන හැටි දැක්කම මට මන් ගැනම දුකයි මොකද යකෝ ඉඳලා ඉඳලා කෙල්ලෙක් ගැන අමුතු හැගීමක් කියලා එකක් ඇතිවුනාමයි ... කෙලියා නේද එකටත් ..
වෙලාවකට ඔය අතිජාත මිත්‍රයෝ කියන එවුනුත් මහා වදයක් , මේ පෙන්නේ නැද්ද ?
කොහොමින් කොහොම හරි ඉස්කෝලේ ඇරෙනකම් හිටියේ හරිම අමාරුවෙන් , මෝරා මට වඩා අපහසුවෙන්ද නැත්තම් මම මොරට වඩා අපහසුවෙන්ද කියන්න දන්නේ නෑ ... පීරියඩ් වලට සර්ලා ටීචර්ලා ආවද නැද්ද කියලවත් මතක් නෑ .
"මේ අපි දැන් තදියමෙන් දිව්වා කියලා වැඩක් නෑනේ ... අරකිටත් එයාලගේ ඉස්කෝලේ ඇරලා ගෙදර යන්න ඇරලා යමු , "
"ඉතින් යකෝ ඔක්කොම ඉස්කෝල ඇරෙන්නේ එක වෙලාවටනේ "
" හරි යකෝ මැටි මෝරෝ , ඒ වුනාට අපි බයිසිකලෙන් ගහින් එතන එකී හිටියේ නැත්තම් මේක දීලා අරවා කාපු රිලව් වගේ එන්න වෙයි , ඒකනිසා එකී ගෙදර ගිහින් වොෂ් එකක් දාලා සෙන්ටිමෙටල් වෙලා ඉන්න ඇරලා යමු. "
"අම්මප ඒකත් ඇත්ත , අර ඥානතිලක සර් කිව්වා වගේ උඹටත් හිටපු ගමන් මොලේ පෑදෙනවා නේ "
"පල යන්න "
$$$$$$$$$$$$$$$
ඉතින් අපි දෙන්නා නිකං පාර්සලයක් දෙන ගියාට හිතෙන් ගියේ මනමාලියක් බලන්න යනවා වගේ , ගෙදරට ලන්වෙන්කොටම මම මෝරාගේ අතේ දුරින් ගියේ මගේ පපුවේ සද්දේ ඌට ඇහෙයි කියලා බයෙන් වගේ , ඌත් මගේ ලඟට ආවේ නැත්තේ ඒ නිසාමද මන්දා
අප්පේ පිළිවෙලට අතු ගාපු මිදුල මැදම වගේ තියෙන විලාට් අඹ ගහයට හදපු බැංකුවේ දිගාවෙලා පොතක් කියවන්නේ මේ එයා නේද?
මායි මෝරයි දෙන්නම එක සරේ දෙන්නට දෙන්නා දිහා බැලුනේ නොදැනුවත්වම ,
" චාන්දනී අක්ක ඉන්නවද?"
"අහ.... ආ ප්‍රගීත් ....ඉන්නවා එන්න ....."
කෙල්ල මගේ නම කියනවා ඇහුණාම මොරගේ මූණ කළු වුනා
" එකී කොහොමද උඹේ නම දන්නේ .."මෝරා රහසින් ඒ වුනාට උපරිම කේන්තියෙන වගේ මගෙන් අහනවා
" මං කොහොමද ඌරො ඒක දන්නේ "
" යමන්කෝ "
"ආ එන්න මල්ලි ...."
" අක්කේ අම්මා මේක දීලා එන්න කිව්වා ...."
"ආ තැන්ක්ස් මම ඊයේ ගියාට මේක ආන්ටිගෙන් ඉල්ලන් එන්න අමතක වුනා ආවට පස්සේ තමයි මතක් වුනේ , මල්ලිලා ඔය ඉස්කෝලේ ඇරලා යන ගමන්ද? "
"ඔව් අක්කේ ...අපි ගිහින් එන්නම් "
" හා ඉන්න ඉන්න මල්ලි මේ ආවමයි නේද ... ? කාලම යමු මම මේ උයන ගමන් අද ටිකක් පරක්කු වුනා "
" ආ අක්කේ මේ මේ ...."
"අනේ මේ මාලනී ආන්ටි මුකුත් කියන්නේ නෑ මෙහෙන් කෑවා කියලා පොඩ්ඩක් ඉන්න "
"ආ ඔය මේ අපේ තාත්තගේ බිස්නස් එකනේ , පාර අයිනේ ගහලා තිබ්බ බෝඩ් එක නිතරම කවුරු හරි ගලවනවා , එක නිසා දැන් මේ ඇතුලට වෙන්න් ගහලා තියෙන්නේ , කොහොමත් කට්ටිය දන්නා නිසා අවුලක් නෑ"
අක්ක එහෙම කිව්වේ මෝරා අඹ ගහට ඉස්සරහින් ගහල තිබ්බ බෝඩ් එක කියවනවා දැකලා ,
" ගම් බිත්තර සහ කරී චිකන් " කියලා කහ පාට ලෑල්ලක දුඹුරු පාටින් ලියලා තිබ්බ බෝඩ් එකේ බිත්තර සහ චිකන් මිල ගණනුත් සඳහන් වෙලා තිබ්බා .
"සුරංගා ප්රගීත්ලා එක්ක ටිකක් කතා කරකර ඉන්න මම ඉක්මනට උයනකම් "
///""සුරංගා ""///
අපි දෙන්නටම එක සැරේ නම කියවුනාට බයත් හිතුනා කාටවත් ඇහුනද කියලා
$$$$$$$$$$$$$$
අනේ සොරි ප්රගීත්එදා පෑන වැටිලා ඔයා අරන් දෙන්න ගිහින් කට්ටිය විහිලු කලාද ?"
" අනේ නෑ එක අවුලක් නෑ"
" මාලනී ඇන්ටිට පුතෙක් ඉන්නවා අපේ ක්ලාස් වලමයි කියලා අක්කා කිව්වට මම ඔයාව දැකල තිබ්බේ නෑනේ "
සුරංගා කියවනවා හරියට ඉස්සර ඉඳන් දන්නවා වගේ ..මොරගේ කට ඇදවෙලා .. ඌ දැන් තරහින් පිපිරෙනවා කියලා මට හොඳටම ෂුවර්
" ඔයාව මාත් මීට කලින් වෙන ක්ලාස් එකකදීවත් දැකලා නෑනේ "
" ආ එකියන්න් ඔයා ක්ලාස් එන කෙල්ලෝ දිහා බලබලද ඉන්නේ ආ ...ඉන්න අක්කට කියන්නම් ආන්ටිට කියන්න කියලා .."
ෂේක් හතර විලි ලැජ්ජාවයි
"සුරංගා ආ ආ "
හොඳ වෙලාවට අක්කා කතා කළා සුරංගා කුස්සිය පැත්තට දුවගෙන ගියා ...
"මචං ... මේ එයි මොකද බං ....."
මෝරා කතාවක් නෑ
"පල යන්න පාප මිත්‍රයා ... " මෙන්න මූට මල පැනලා ...
"මොකද මචං "
"පල යන්න" කියපු මෝරා නැගිටලා එලියට ගියා ....මමත් ඉතින් උගේ පස්සෙන් ගියා
මෝරා අඹ ගහ පහු කරගෙන ගෙයි දකුණ පැත්තට ගිහින් නැවතුනා ..
"මචං බලු වැඩ කරන්න එපා හරිය .."
" මොකක්ද මං කරපු බලුවැඩේ?"
"උඹ අඩු ගානේ මාව අරකිට අඳුන්නලාවත් දුන්නේ නෑනේ .... "
"හරි ඉතිං............................"
"එයි අර බලපන්" මෝරා රහසින් ඒත් වේගෙන් කෙඳිරුවා
අපි හිටපු තැනට චාන්දනී අක්කලාගේ තාත්තගේ කුකුල් කොටුව හොඳින් පෙනුනා ... එතනට ආපු සුරංගා කුකුල් කොටුවේ දැල් දොර අරගෙන ඇතුලට ගියා ආපහු එලියට ආවේ කිකිලියෙක් කකුල් දෙකෙන් එල්ලගෙන , ඊට පස්සේ දොර අයිනේම තිබ්බේ පෙට්ටියකට ඇත දාලා ටිකක් විතර දිග පිහියක් අතට ගත්ත සුරංගා ගෙයි අපිට නොපෙනෙන පැත්තට ගියා ,
ටිකකින් අමුතු සද්දයකින් කිකිළි කෑගහනවා ඇහුනා , මායි මෝරයි දෙන්නට අරගත්තු කටවල් වැහෙන්න කොච්චර වෙලාවක් ගියාද කියන්න මට මතක් නෑ ....
$$$$$$$$$$
ගෙදර එනකොට අම්ම දොර ළඟ .
"තමුසෙලා දෙන්න අර ළමයට කියන්නේවත් නැතුවද ආවේ , මිනිස්සු බය කරන්න එපා මෝඩයෝ ...."
කියපු අම්මා ටෙලිෆෝන් එක දිහාවට ගිහින් කෝල් එකක් ගන්නවා බල බලා අපි දෙන්න කාමරේට රිංගලා දොර වහ ගත්තා ..
එදායින් පස්සේ ආපහු ක්ලාස් වල අන්තිම පේළියම තමා , අයියෝ පලවෙනි ක්‍රෂ් එක