Tuesday, May 20, 2014

චූං පාන්

මෙන්න මල්ලි ගැනලා ගන්න 
පාන් තිහයි, බන් පනහයි, පේස්ට්‍රි හතලිස් නමයයි 
පහට වඩා ඉතුරු වුනොත් පඩියෙන් අඩු වෙනවා මල්ලි 
ඊයේ තුනක් ඉතුරුවෙලා මොකද පාන් ගන්නේ නැද්ද?
එහෙනම් ඇයි මොකද මල්ලි පේස්ට්‍රි විකිනෙන්නේ නැද්ද?

ත්‍රීවීල් එකේ චූං හෝන් එක තාමත් හැදුවේ නැද්ද?
හැදුව අයියේ ඒක නිසා තමයි උදේ රැයින් ආවේ 

මෙන්න මල්ලි නිව් අයිටම් 
මොකක්ද ඒ 
එග් බන් බං එග් බන් මේ 
ඕවා ඉතිං විකිනේවිද?
ඉතුරු වුනොත් පඩියෙන් යයි

උඹ ගැන එන ආරංචි දැන් එච්චර හොඳ නම් නෑ
මොකක් කිව්වා 
පුතෝ හොඳට මේ අහගන් 
ගිය මාසේ සර්විස් එක නොකර මාටියා ගැහුවද?
පෙට්‍රල් ටික හොරෙන් ඇදල විකුණන්නට හිතෙනවාද?
දන්නවනේ මුදලාලී යන්නට ආසද වැලිගං

ට්‍රින් ට්‍රින් ට්‍රින් ටොයිං ටොයිං
චූං පාන් හරි සද්දෙට

කියලා වැඩක් නෑ උදේම හොඳ බිස්නස් තියෙයි වගේ 
අම්මප මුගේ බඩේ සයිස් 
පාන් පහක්වත් ගනීවි
නොදකින් නෑ මූනේ කිසි හිනා කටක්
උදේම එන හැටි ඔරවන් බඩගෙඩියත් එළියේ දාන්
ළඟටම ගෙනවිත්දෙන මේ පාන්ගෙඩිය  ගන්න වුනත් 
හිනා පොදක් මූනේ තිබ්බානම් මුට මක් වෙනවද?

ගුඩ් මෝනිං සර් පාන් ,බනිස් පෙස්ට්‍රිත් තියෙනවා 

ගුඩ් මෝනිං හුහ් ඇටයා ...ගහනවා පොළොවේ අල්ලා 
කවුද යකෝ තොට කිව්වේ 
මෙතන පාන් විකුණන්නට 
තෝ උදේම මෙතන ඇවිත් පාන් විකුනලා ගියාම 
මගේ කඩේ තියෙන පාන් ,කන්නද බොල මම තනියම 
අදට තොගේ කකුල තමයි කඩන්නේ මේ දොර පොල්ලෙන් 
මීට පස්සේ ආවොත් හෙම සුදුකොඩි දානවා ගේ ළඟ
තොගේ ඔය ලොකු ත්‍රී රෝදය 
කරනවා වගේ විල්බැරෝව   

බුදු අම්මේ කකුල අනේ 
විසිවුණු පාරට බිම ඇනුනේ හොඳටම පස්ස මගේ 
කඳුළු පිරුණු ඇස් දෙකටම බොඳ වීලා වගේ පෙනේ
තුන් රෝදේ පිටිපස්සේ ලියු වැකිය

""දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී "'




Monday, May 19, 2014

වරෙව් යකුනේ මෙන්න දොළ පිදේනි


අවුරුදු උත්සවේදී කතන්දර ගෙන් ලැබුණු කවිපොත කියවලා ඉවර වෙනකොටම ,තවත් පොතක් කියවන්න් අවස්තාව ලැබුනා , ඒ විතරක් නෙවෙයි ඒ පොත දොරට වැඩීමේ උළෙලේටත් සහභාගී වෙන්න ලැබීම ඉතාම සතුටට කරුනක්. පොතේ විශේෂත්වයක් තියෙනවා .ඒ තමයි පොත ලියලා තියෙන්නේ අපේ සහෝදර බ්ලොග් රචිකාවියක් වන නන්දිකා රණවීර සොයුරිය ...

හැමවිටම වාගේ නමින් කිව්වම අපි කවුරුත් නොදන්නා හැබැයි අන්වර්ථ නාමයෙන් හෝ බ්ලොග් අඩවියේ නමින් කිව්වොත් හැමෝම දන්න මේ උප සංකෘතියේ හැටියටනම් ඇය "තරු"

බ්ලොග් අඩවිය තමයි "තරු අරණ

පොතක් මුද්‍රණද්වාරයෙන් පිටතට ගෙනෙන මොහොත දක්වා කරන්නට ව කැප කිරීම ඒ හා සම්බන්ධයෙන් ක්‍රියා කල ඕනෑම කෙනෙක් දන්නා කරුණක්, කෙසේවෙතත් ඒ සියලු බාධා මැඩගෙන පිටු 376 කින් සමන්විත නවකතාවක් අප වෙත තිළිණ කරන්නට ඇය සමත්ව සිටිනවා .

අප නොදන්නවා වුනාට තරු අරණේ  තරු පරිඝනක තාක්ෂණ අංශයේ ලේඛිකාවක්

  • පරිගණක ඉඟි 
  • උසස්පෙළට තොරතුරු තාක්ෂණය
  • මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2003 - පැය 24 න්
  • ප්‍රාථමික පරිගණක  - 1
  • මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2010 
යන කෘතීන් රචනා කර තිබෙනවා ... 

ඉතින් එහෙනම් මේ නවකතාව මිලට ගෙන කියවා ගුණදොස් ඇය වෙත ලබා දෙන්න .. ගල් සහ මල් ද්විත්වයම සමසිතින් පිළිගැනීමට ඇය සූදානම් ... 

පොත දොරට වැඩීම ගැන සහ වැඩිපුර විස්තර මෙතනින් බලන්න .

එතනට ගොස් ඇයට සුභ පැතීමට අමතක කරන්න එපා ...

තරු අරණේ තරුට බ්ලොග් මිතුරන්ගේ සුබපැතුම් ............................!



Tuesday, April 29, 2014

ත්‍රිපෝෂ


"උඹ එන්න ඕනේ නෑ.. මම ගිහින් එන්නං....."

"ඒ මොකෝ මම එන්න ඕනේ නැත්තේ ....? හතර ගාතෙන් එන්න බෑනේ මම ගියාම ...නෑ තනියම යන්න ඕනේ නෑ "

"ඔය ළමය එක්ක එහෙ යන්න බෑ. අපේ අම්ම ගෑනු ළමයින්ට කැමති නෑ කියලා දන්නවනේ උඹ .."

"ඉතිං මේ ඔයාගෙත් දරුවා නෙවෙයිද සුමනේ ..."

"කීවහම අහල හිටපිය පරට්ටි ගෙදර ,අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලම දත් වහල්ල හලාගන්නේ නැතුව.......... ඔන්න ඉතිං ඔය ඔය  ......ඔන්න පටන් ගත්තා ඈඬියාව ...මූසලී ....."

"මූසල කම මගේ ඇඬිල්ල නෙවෙයි සුමනේ ඔයාගේ අම්මලගේ හණමිටි කතාවයි, ඔයාගේ බේබදු කමයි ...

"මොකක්ද බොල කිව්වේ ........තෝ...අද මං...................."

අම්මට තාත්තට පිටුපාලා ජීවිතකාලෙම ආදරෙන් ලඟින් ඉන්න හිතාගෙන සුමනසිරිත් එක්ක ආපු එකේ රඟ දැනුයි දැනෙන්නේ කියලා විනීතට හිතුනු වාරගාන මෙච්චරයි කියලා කියන්න බෑ. 

 ඈතින් පේන සපුගස්කන්දේ තෙල්පිරිපහදුවේ ගිනි දල්ල වගේ තමුන්ගේ හිතේ ගින්දරත් කවදාවත් නිවෙන්නේ නැතිවෙයිද කියලා හිතුනු විනීතට හීල්ලුනා . පුංචි කාලේ ඒ ගිනි දල්ල දකිනකොට " අප්පච්චි අපේ ගෙදරත් ඒ වගේ උස ගිනි ගොඩක් ගහමුද හැමදාම පත්තුවෙන්න " කියලා අප්පච්චිට කියනකොට ..."ගින්දර තියෙන්නේ ලස්සනට තියන්න නෙවෙයි පුතේ " කියලා අප්පච්චි කිව්වේ මේ දේවල් කලින් දැකලද එතකොට ................? 

නිදාගෙන ඉන්න කෙල්ලගේ ඉල ඇට ගණන් කරන්න පුළුවන් තරමට පේනකොට විනීතාගේ ඉකි ගැහිල්ල මහා විලාපයක් බවට පත්වුනත් ආපහු අතින් කට තද කරලා වහගත්තේ ,පොඩි කෙල්ල ඇහැරෙයි කියන බයටමයි ...
*******
හැම උදේකම ඈතින් ඇහෙන කෝච්චියේ සද්දෙට ඇහැරෙන එක පුරුද්දක් වෙලා තිබ්බේ විනීතට , "පුංචි කාලෙනම් ඕකට කිව්වේ "අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" කියලා . අද තමුන් ගුටිකකා කඳුළු බිබී ජීවත් වෙනවට ජීවත් වෙන යකඩ වගේ ගෑනියෙක් වෙලා කියලා විනීතා දන්නවා . බැඳලා අවුරද්දක් යන්නත් කලින් සුමනේ වෙනස් වෙච්ච හැටි. වෙනසක් කිව්වට ඒ හැබෑ තත්ත්වේ තමයි . වෙලාතියෙන්නේ යාළුවෙච්ච කාලේ මවාපාලා පෙන්නපු දේවල් වලට රැවටිච්ච එක බව විනීතා තේරුම් අරං ගොඩක් කල් .

කවදාවත් උයන්න හැදුවට එක දිගට උයාගෙන ගිය දවසක් මතකෙට එන්නෙම නැතිතරම කියල විනීතට හිතුනා . මොනම හරි අඩුපාඩුවක්, චන්දෙ දවස්වල අපේක්ෂකයෝ කීපදෙනෙක්ම දීපු අඩුම කුඩුම මලු කීපෙ අන්තිම අඩියත් හූරලා එක්කාසු කරගත්තට තව අඩුපාඩු බොහොමයි .

කිරි රහක් ,මිරිස් රහක් නැතුව බත් කන එකයි සුමනේගෙන් තුන්වේලටම ගුටි කන එකයි ඇරුනම විනීතාගේ මුළු ජීවිතේම වෙලා තිබ්බේ පොඩි කෙල්ල. හැබැයි හදිසියටවත් පොඩි එකී ගෙදර තනියෙන් තියලා විනීතා ගෙයින් එලියට බැස්සේ නෑ. පොඩි එකීවත් උකුලේ ගහගෙනම කඩේට යන්න ගියේ ඒ නිසා . 

කඩේට යන්න ගිය විනීතා ආපහු හැරුනේ කඩේ ඉස්සරහ තියෙන බස් හෝල්ට් එකේ ඉන්න ආනන්දව දැකලා.......

ඒත් 

" මොකද විනීතා නංගී ආපහු යන්නේ .., අපෙන් වැරද්දක් එහෙමවුනාද?" කියාගෙන අඩි දෙකක් ආපහු යන්නත් කලින් ආනන්ද විනීත ළඟ . 

"නෑ ආනන්දයියේ මේ ..කඩේට යන්න ආවේ ..පර්ස් එක ගෙදර දාලා ඇවිත් ...." 

"ආ පර්ස් එක ....." ආනන්ද කට කොනකින් හිනාවුනේ .හරියට "අපි නොදන්න සල්ලි පිරුණු උඹේ පර්ස් එක " කියන්නා වගේ .

ඔව් ආනන්දයියේ මම ගිහින් අරන් එන්නං "

විනීතා එතනින් ඉක්මනින් පිටවුනේ තාමත් බලන් ඉන්න ආනන්දට යමක් කියන්න ඉඩ නොදීම ....ඒ එක්කම ආපු ලංගමේ ආනන්ද නගිනවා විනීතට පෙනුනේ පාර පනින්න අනිත් පැත්ත බලනකොට ..

ආනන්ද කවදාවත් අනිසි දෙයක් කියලා නැතිවුනත් ,ආනන්දගේ හිතේ විනීත ගැන විශේෂත්වයක් තියෙනවා නේද කියලා විනීතට තේරිලා තිබ්බේ . 

*******
පාන්දර කුකුලා හඬලනකොට පොඩිකාලේනම් දැනුනේ හරිම ප්‍රබෝධයක් ,  ඒත් දැන් කුකුළා හඬලන සද්දේ මහා මූසල ගතියක් ගේනවා. වෙන මොකවත් නෙවෙයි තවත් කිසිම බලාපොරොත්තුවක් නැති තවත් කාලකණ්නි දවසක් නේද උදාවෙන්නේ කියන පණිවිඩේ ගේන පණිවිඩකාරයාද කියලා ඒ ගැන හිතෙන නිසා කියලයි විනීතට හිතුනේ . ඇත්තටම එකමදේ ගැන ජීවිත කාලේ එක එක යුගවලදී හිතෙන දේ වෙනස් වෙන්නේ ඇයි මේ විදිහට ....

නොයෙක් සිතුවිලි එක්ක පොර බදිමින් උදෙන්ම නැගිටලා පොඩි කෙල්ලවත් ලැහැස්ති කරගෙන ක්ලිනික් එකට යන්න එලියට බහින්න් හදනකොටම

"කහට එකවත් නොහද තෝ කොහෙද බැල්ලි මකබෑවෙන්න යන්නේ උදේම ......" 

ඊයේ රෑ තිස්සේ බීගෙන ඇවිත් මලා වගේ නිදාගෙන හිටපු සුමනේ .. ඇඳෙන් බහින්නේවත් නැතුව ලමයව උකුලේ තියාගෙන ගෙයින් එලියට යන්න හදන විනීතාගේ සායේ කොනකින් අල්ලලා ඇදලා ගත්තා .

"අත අරිනවා මනුස්සයෝ ..අද ළමයාගේ ක්ලිනික් එක ....නිකං හම්බවෙන ත්‍රිපෝෂ පැකට් එකවත් ගන්න දෙනවා මේ ළමයා හාමතේ නොමරා .. "

අන්තිමට සුමනේගෙන් පහර කීපයක් කාපු විනීතා ලේ ගලන යටිතොල ලේන්සුවෙන් වහගෙන ,ළමයවත් ඉනේ ගහගෙන පාරට පැන්නේ සුමනෙට හිතින් සාප කරමින් ...

" අම්මපා ආණ්ඩුවෙන් දෙන ත්‍රීපෝෂ පැකට් දෙකවත් නොහම්බුනානම් මාසෙන් බාගයක්ම ළමයා හාමතේ ."
ආත්මේ උගසට අරං උදව් කරන්න නම් පෝලිමට මිනිස්සු ඉන්න වග විනීතට රහසක් වුනේ නෑ.. කඩේට යන හැම වෙලේම මුදලාලිගේ මල්ලි වෙච්ච සාන්තගේ බැල්ම දකින්නත් විනීතා බයවුණේ ඒ නිසා .

" තොලට මොකද වුනේ විනීතෝ ...."

"මේ කොසු මිට වැදුනා නන්දක්කේ ...."

" ආ....කොසුමිට ..හා හා ...හොඳයි හොඳයි ..... "

"හැමෝම සහසුද්දෙන්ම වුනේ මොකක්ද කියලා දැන දැනම තමුන්ව අපහසුතාවයට පත් කරන්න හදන කොට ආපහු යන්න හිතුනත් ,ළමයා නිසාම ක්ලිනික් එකේ වරුව ගත කරපු විනීතා ත්‍රිපෝෂ පැකට් දෙක අරන් ගෙදර ආවා ....

*******

උදේ   ලමයව නාවන්න හිතාගෙන එලියට බහින විනීතා දැක්කේ කවදාවත් නැතුව ... ඔලුව බිමට පාත් කරගත්තු සුමනේ ගේ පැත්තට එන හැටි ... 

"මොකද .....?'

ඔරවලා බලපු සුමනේ ..  "මට ආයේ වැඩට එන්න එපා කියන්නේ .... "

"ඊයේ බඩු පටවන තැනදී කැෂියර් මහත්තයට පාට් එක දැම්ම ගාල ගෙදර ඇවිත් පම්පෝරි ගහනකොට මේ දේ කර ගනියි කියලා මට හිතුනා "

"මොකක්ද බොන්ඩි තෝ කිව්වේ ....."වේගෙන් විනීතා හිටපු පැත්තට ආපු සුමනේ වතුර බේසමට පයින් ගහලා ගේ ඇතුලට රිංගුවේ සරම කැහැපට ගහමින් ....
"ඔව් දැන් හොයනවා ගේ ඇතුලේ දැන් තමුසෙට විකුනන්න ඉතුරු වෙලා තියෙන්නේ මාව විතරයි ...." විනීතා හිටි ඉරියව්වෙන්ම කෑගැහුවා .

මීට කලිනුත් බොන්න අතේ සල්ලි නැතිවුණු වතාවක් ගානේ විකුනලා විකුනලා මේ වෙනකොට ගෙදර බිත්ති හතරට අමතරව තියෙන බඩු අතේ ඇඟිලි ගානටත් වඩා අඩු වෙලා .

ඒ සැනින්ම ගෙයින් පිටවෙලා යන සුමනේ දිහා විනීතා බලන් හිටියේ ඇස් ලොකු කරගෙන ... වේගෙන් පාරට ගිය සුමනේ දිහා බලාගෙන හිටපු විනීතා ලමයව උස්සගෙන බේසම දිහාට ආවේ නාවන්න .

*******
නාවලා ඉවර වුනු ගමන්ම කෙල්ල අඬන්න පටන් ගත්තේ මොකද කියලා විනීතා දන්නවා ,

"අනේ මේ ළමයා කන්නේ නෑ මෙයා , කෑම ටික හදාගෙන පුදුම දැඟලිල්ලක් දඟලන්න ඕනේ කවාගන්න "

ක්ලිනික් එකට එන අම්මලා සීයේට අනූනවයක්ම කියන්නේ ළමයින්ට කවාගන්න බෑ අරකයි මේකයි කියලා.
ඒත් තමුන්ගේ දරුවට කන්න දෙන්න දෙයක් නැතිකමින් තමුන් කොයිතරම්නම් දුක්වෙන්වද කියලා විනීතට සිහි වුනා ..
"කෝ මේ ත්‍රිපෝෂ පැකට් දෙක"  ...පොඩි කෙල්ල අඬන නිසා ත්‍රිපෝෂ ගුලියක්වත් හදලා දෙන්න හොයන විනීතාගේ ඉහමොළ රත් වුනා .... "දෙයියනේ ..කොහෙද මම ඒක දාලා ආවේ ..." 

ගියේ කඩේට විතරයි සීනි සීයක් ගන්න .. කඩේ පරිප්පු ගෝනිය උඩින් ත්‍රිපෝෂ පැකට් දෙකත් එක්ක මල්ල තියලා සීනිවලට සල්ලි දුන්නා ..

 අනේ දෙයියනේ ඒ ටික එතනින් ගෙන්න බැරිවුනාද ? ලමයව ආපහු උකුලේ තියාගත්ත විනීතා පාර දිහාට ගියේ කඩේට ගිහින් බලන්න , දැන් ඕක ගන්නත් සාන්තයගේ ඇස්දෙක ඉස්සරහ හිටගන්න වෙන එක ගැන විනීතටනම් දැනුනේ අපුලක්,

මොකද සාන්ත ගෑනු දිහා බලන්නේ හරියට උන් හෙළුවෙන් කඩේට එනවා වගේ කියලා හිතාගෙන
.
 මුදලාලිගේ මල්ලි සාන්ත, කඩේ ඉන්න වෙලාවට පොල් ගොඩේ පැත්ත මාරු වෙනව කියලා කඩේ ළඟ රස්තියාදුවෙන පිරිමි ඔක්කොම කතාවෙන බව සුමනේගේ කතා වලින් විනීතටත් දැනිලා තිබ්බා , වෙනදට කඩේ එළියෙන් ගිහින් තෝරගන්න පොල් ,සාන්ත ඉන්න දවසට එලියපැත්තෙන් වටකරලා කඩේ ඇතුල් පැත්තෙන් ගිහින් තෝර ගන්න ඕන. එහෙම දෙකට නැවිලා පොල් තෝරන ගෑනුන්ගේ පස්සපැත්ත දිහා සාන්තයා කෑදර විදිහට බලනවා විනීතටත් කීප සැරයක්ම ඇහැ ගැහිලා තිබ්බා .

  කරන්නම දෙයක් නැති කමට නොනවත්වා අඬන පොඩි කෙල්ලගේ ඔලුව අත ගගා විනීතා කඩේ පැත්තට ගියා ... 

*******

දූවිලි පිරුන පාරේ ඈතින්ම වැනි වැනි ආපහු ගෙදර එන සුමනේ දැක්කම විනීතාගේ හිතට හැමදාම දැනෙන කලකිරීම ඒ විදිහටම අඩු නැතුව දැනෙන්න ගත්තා . තමුන්ට මූසලී කියා කියා හැමතිස්සෙම බැන්නට උදේ පාන්දරම මොනවා හරි ජරාවක් කටේ ගාගත්තම හරිම සිරියාවයි කියලා මේ මනුස්සය හිතන් ඉන්නවද දන්නේ නෑ.

" සිරිසම්බුද්ධ රාජා වඳිම්.... මුනි සෑසී පියාණන් වඳිම්........" සිංදුවක් මහා සද්දෙට කියාගෙන පාර පුරාම යන සුමනේ දිහාවත් නොබලපු විනීතා කඩේ පැත්තට ඇදුනේ වේගයෙන් ..

ඒත් කඩේ ලංවෙනකොටම විනීතාගේ ගමන් වේගේ ආයෙමත් බාල වුනා , ඒ ආනන්ද තමුන්ගේ මූණටම හම්බවෙන විදිහට ඉස්සරහට එනහැටි දැකලා. මග අරින්නනම් විදිහක් නැති පාටයි .

" ආ විනීතා නංගි ..මං මේ ඒ පැත්තට යන ගමන් ...."

"ආ යන්න අයියේ සුමනේ ගෙදර ඇති මම කඩේට දුවලා එන්නම් .."

"නෑ දැන් යන්න ඕනේ නෑ .ඔයාව හම්බ වුනානේ .."

" මොකක් ....?"

"ඔව් මෙන්න මේක ගන්න ..." කවරෙක දාපු යමක් විනීතා දිහාට දික් කරන ආනන්ද දිහා වීනීතා බැලුවේ පුදුමෙන් වගේ ..

"දෙයියනේ ත්‍රිපෝෂ පැකට් දෙක ...." අනේ පින් ආනන්ද අයියේ මට මේක කඩේ අමතක වෙලා ගිහිං..."

" හඃ...අමතක වෙලාද"

"ඇ ..ඇ.. ඇයි ආනන්දයියේ ..."

" අමතකවීම මන්දන්නේ නෑ නංගි... උඹේ මිනිහා දැන් ටිකකට කලින් මේක අරන් ඇවිත් මුදලාලිගෙන් කීයක් හරි ඉල්ලුවා මේක තියාගෙන දෙන්න කියලා"
"මට හිතුනා එකත් එකටම මේ උඹ ඊයේ කකුල් කඩුත්තුව හැදෙනකන් පෝලිමේ හිටගෙන ඉඳලා ගත්ත ත්‍රිපෝෂ පැකට් දෙක වෙන්න ඇති කියලා"
"ඒ පාර මම ඌට රුපියල් සීයක් දීලා ඕක ගත්තේ,නැත්තම් මුදලාලියා ඕකත් කාට හරි විකුනනවා මිසක් ආපහු දෙන්නේ නෑ , මට මතක් වුනේ පොඩි කෙල්ලව ..ඔන්න ඕක අරන් පලයන්..."

ආනන්දගේ කතාව ඉවරවෙන්නත් කලින් විනීතා ආවට වඩා වේගෙන් ගෙදර පැත්තට දුවන්න ගත්තා. 

"නංගී .......නංගී......... විනීතා.... දැන් ගෙදර ගිහින් අරූව අවුස්සා ගන්නවා හෙම නෙවෙයි ..." ආනන්දගේ කටහඬ ඈතින් ඇහුනත් ඒ වෙනුවෙන් නවතින්න විනීතට හිතුනේ නෑ ...

******* 

ලේ පිරුණු කැත්තත් අතින් අරගෙන පොලිස් ජීප් එකට ගොඩවෙන විනීතයි ,පොලිස් කාන්තාවක් වඩාගෙන හිටපු විනීතාගේ පොඩි කෙල්ලගේ මූණයි දැකපු සුමනේලගේ වත්තට පිරුණු සෙනග අතරේ හිටපු ආනන්ද ඔලුවේ අත ගහ ගත්තේ මොකද කියල ළඟ ඉඳන් ආනන්ද දිහා බලපු සාන්තට තේරුනේ නෑ 


Monday, April 28, 2014

නිරුවත් කරන්න




නිරුවත හැමවිටම විවාදාත්මකයි ......නිරුවත අසංස්කෘතික වචනයක්ද ? අසභ්‍ය වචනයක්ද ? කොහොමවුනත් ජීවිත කාලය තුල අපි කීදෙනෙක් ඉදිරියේ නිරුවත් වෙනවා ඇතිද ?

කලබල වෙන්න කාරී නෑ ......කෙනෙකු ඉදිරියේ නිරුවත් වෙනවා කියන්නේ සළුපිලි උනා දැමීම පමණක්ද ?

ජීවිත කාලය තුල පෙම්වතා - පෙම්වතිය, බිරිඳ - සැමියා ඉදිරියේ පමණද නිරුවත් වෙන්නේ ....නැවතත් මේ කතා කරන්නේ සළුපිලි උනා දැමීම ගැන (පමණක්) නොවෙයි .

සිත ගත් යුවතිය ඉදිරියේ ....සෙනෙහෙවන්තයා ඉදිරියේ සිතුවිලි ...නිරුවත් වී නැද්ද? සිතින් පමණක් පෙම්කල නුදුටු පෙම්වතිය ,පෙම්වතා  ඉදිරියේ හැගීම් නිරුවත් වී නැතිද ? චමත්කාරජනක සිතුවිලි  පහලවූ පමණින්ම සිතුවිලි හැගීම් බිඳෙන් බිඳ නිරුවත් වන්නේ අපිටත් නොදැනුවත්වම ..

එහෙනම් නිරුවත්වීම සුන්දර නොවේද?

හදවත හඳුනාගන්නතුරු ඒ හදවත හිමිකාරියගේ / හිමිකරුගේ දෑස තුල කිමිදෙන්නට ..ගැඹුරටම  කිමිදෙන්නට ලැබීම අතිශයින් චමත්කාරජනක නොවේද ?

එහෙම වුනාම හිතිලා නැද්ද ලෝකය කොයිතරම් සුන්දරද කියලා ..

ඇසෙන නොඇසෙන සරින් වදනක් දෙකක් දොඩනවිට හදවතට දැනෙන ඒ නුහුරු හැගීම කොයිතරම් නම් ආහ්ලාදජනකද?

ඇත්තෙන්ම හදවතක් හඳුනාගන්නතුරු...හදවතකට අතුලුවෙනතුරු ගෙවන ඒ කාලය කොයිතරම් සොඳුරුද ?..........ඒ නිරුවත්වීම ...ඒ ලෝකය ...ඒ ජීවිතය කොතරම සොඳුරුද ?

අද ලෝකය අයිති තරුණයන්ටයි ..... වයසින් නොව සිතින් තරුණ හැමකෙනෙකුටම ...

හේෂාන් ගොඩිගමුව - චාමින්ද රත්නසූරිය - නදීක ගුරුගේ යන තරුණයින් තුන් කට්ටුවේ ගායන, ගීතරචන සහ සංගීතමය ප්‍රයත්නයන්ගෙන් හැඩ ගැන්වුණු මේ ගීතය විඳින්න ......

අහන්න එපා ...බලන්න එපා .....විඳින්න................ ජීවිතයේ ...ලෝකයේ සහ නිරුවතේ ආශ්වාදය විඳින්න







නිරුවත් කරන්න හැගීම් එක දෙක 
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

නිරුවත..... වුනත් එතකොට සොඳුරුද කෙතරම් 

ඇස්දෙක අරින්න හෙමි හෙමීට 
ඉඩදෙන්න ගැඹුරට කිමිදෙන්න.....//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

ලෝකය ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

වදනක් දෙකක් දොඩන්න නෑසෙන සරින් 
ඉඩදෙන්න වචනතර රැඳෙන්න ...............//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

ජීවිතේ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

නිරුවත් කරන්න හැගීම් එක දෙක 
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//


පද රචනය - චාමින්ද රත්නසූරිය
සංගීතය     - නදීක ගුරුගේ
ගායනය     - හේෂාන් ගොඩිගමුව  

Tuesday, April 8, 2014

හිනාවෙයන් රාළේ










අද සිංහල අවුරුදු ගීත අතරින් අපිට නිතරම ඇහෙන මතක් වෙන ගීතය තමයි මේ . ගීතයෙන් මැවෙන චිත්‍රය හරිම සුන්දරයි , විචිත්‍රයි ..... හැබෑවටම ඒ සුන්දරත් වය විචිත්‍රත්වය විඳින්න අපිට අවස්තාවක් නෑ කියලා දුක්වෙන අපිටමයි මේ කියන්නේ 

ඊටත් වඩා අතිශය සුන්දර වුනු ,විචිත්‍ර වුනු සහෝදරාත්මක වින්දනීය දිනයක මතක සටහන් එකතුකරගන්න එන්න 

අප්‍රේල් 20 වනදා 

බත්තරමුල්ල පැලවත්ත 

බුද්ධදාස ක්‍රීඩාංගනය


මතක ඇතුව මෙතනට ගිහින් ෆෝම් එක පුරවන්න 


ෆෝම් එක පුරවලා එදාට එන අයට මේ අවුරුදු උත්සවය සදා මතකයේ රැඳෙන දිනයක් බවට පත් කරන්නට සංවිධායක මණ්ඩලය කටයුතු යොදලා තියෙනවා 


අනෙක් වැඩි විස්තර හැම එකක්ම බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් අඩවියේ තියෙනවා


පාර දන්නේ නැද්ද මෙන්න මෙතනට ගිහින් 
1.පාරයි 
2. එකතු කරන ගානයි 
3. අනුග්‍රාහක විජට්ටුව එල්ලන ආකාරයයි 

ඔක්කොම බලාගෙන සසිඳු මලයට තැන්කිව් කියලා එන්න 

විශේෂ කාරනාව මෙදා සැරේ අපේ අවුරුදු උත්සවේට විශේෂ අනුග්‍රාහකයෙක් ඉන්නවා ඉතිං මේ බැනර් එක එල්ලලා ඒ අනුග්‍රාහකත්වය වෙනුවෙන් ස්තුතියි පුදකරමු .




එහෙනං හැමෝම සෙට් වෙන්න ඕනේ ඈ 



මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

Wednesday, April 2, 2014

රෝස පෙති


නින්ද නැති රැයේ ...
සඳ කඳුළු මීදුමේ ..
හැංගිලා අඬන්නේ ඇයිද .
ප්‍රථම ප්‍රේමයේ ...
තාරුකා දියේ ගිලී .....
නිල් එලිය නිවී ..
වැහි බිංදු වැටේවී
රෝස පෙති කඩා හැලේ ......

නිමේෂා වෙන්වූ දිනයේ ඉඳන් මේ ගීතය මගේ ප්‍රියතම ගීතය බවට පත්වුණේ නොදැනුවත්වමයි. වැඩ ඇරිලා ගෙදර ආවම නංගිගේ මල් පාත්ති ටික දිහා කාමරේ ජනේලෙන් බලාගෙන ඇඳේ වැතිරිලා මේ සින්දුව අහන එක දින චරියාවේ අංගයක් වුනේ කවදා ඉඳන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ නොහිතා ඉන්න මම උත්සාහ කළා.

අතීත මතක එක්ක හිත හැංගිමුත්තන් කරනකොට කාලය ගතවෙනවාවත් , ඉන්න ඉරියව්ව ගැනවත් ,බලා ඉන්නේ කුමක් දිහාද කියලවත් නිනව්වක් නෑ....
"ඇවිල්ලා පොඩ්ඩක් උදව් වෙනවකො .හැමදාම උලමා වගේ මගේ මල් ටික දිහා බලන් ඉන්නේ නැතුව " නංගී ඒ ටික කිව්වම තමයි මට මතක් වුනේ සෑහෙන වෙලාවක් මං බලාගෙන හිටියා නේද කියලා

"අනේ යනවා ඕයි යන්න ,හිතුවද මමත් තමුසේ වගේ බිංකුන්ඩේක් කියලා ,දවස තිස්සෙම පොලව හාරන්න "

"අනේ යනවා යන්න උලමා "

*******

ජීවිතය වෙලාවකට මහා පුදුමාකාරයි . දෙයක් ලැබෙද්දී තව දෙයක් නැතුව යනවා , අවුරුදු තුනක් කැම්පස් ඉඳලා ගත්ත ඩිග්‍රියට දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ උපාධිධාරී පත්වීම ලැබුණු දා කවදාවත් අමතක් කරන්න බැරිවෙයි , එත් අන්තිමට ඒ රස්සාව ලැබීමෙන් වුනේ "රැකියාවිරහිත උපාධි ධාරීන්ගේ සංගමය " හැටියට හඳුන්වපු අපි "රජයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය" හැටියට නම වෙනස් කරගෙන ආපහු පාරවල් ගානේ බෝඩ් උස්සන් හිටපු එක විතරද ? නෑ තව වෙනසක් තිබ්බා ඒ බෝඩ් වල "රැකියා දියව්" වෙනුවට "ජීවත් වීමට සරිලන වැටුපක් දියව්" කියලා ලියලා තිබ්බා ...........

ඒ අතින් ගත්තම නිමේෂාගේ තාත්තා කොච්චර නම් දුරදිග බලලා තියෙනවද ?

"ඉස්සරනම් ඩිග්‍රිය අරන් එලියට බහිනකොට කිව්වේ ඔය ළමයි විශ්ව විද්‍යාලේ ගෞරවය රැකෙන පරිදි රට වැදගත් සේවයක් කරන්න ඕනේ කරන රැකියාවෙන් කියලා ...එකට අද ...අද කියන්න වෙන්නේ ඔය ලමයින්ට මොකක් හරි රස්සාවක් ලැබුනොත් ලොකු දෙයක් කියලා තමයි .......

මං ඔය ළමයට කියන්න ඕනේ නෑනේ ..ඔය ලැබෙන දොළොස්දාහේ දීමනාවෙන් පවුලක් නඩත්තු කරන්න බෑ කියන එක . අනික අපිට නිමේෂාගේ අනාගතේ අඳුරු වෙනවා බලන්නත් බැරි බව . අනික දැනටමත් ඒ ගැන අපි තීන්දුවක් අරන් ඉන්නේ , ඒ වැඩ ඉවර වෙනකන් දුව දෙහිවල අපේ අක්කගේ ගෙදර යනවා . ...

පුතා මේ දේවල් අමතක් කරලා ඉස්සරහට යන්න බලන්න ..."

එහෙම කියපු නිමේෂාගේ තාත්තා නැගිටලා ගියේ සියලුම දේ තීරණය කරපු ගානට . රස්සාවක් කියලා මොකක් හරි දෙයක් ලැබුණම යම් සතුටක් තිබ්බත් එකත් ඒ එක්කම හේදිලා ගියා .

මම හිතන් හිටියේ මෙහෙම සිද්ධි වෙන්නේ නවකතාවල , ටෙලි නාට්‍ය වල විතරයි කියලා ...හැබැයි ඒ නවකතා , නාට්‍ය වල නම් පෙම්වතා මාරාන්තික සටනක් දෙනවා , නමුත් මට වුනේ කිසිම නවකතාවක් ,කෙටි කතාවක නැති විදිහට සටනකින් තොරවම සියල්ල අතහැරගන්න .

මට තාමත් පුදුම හිතෙන්නේ නිමේෂා වෙනුවෙන් මං සටනට බැස්සේ නැත්තේ ඇයි කියලා , ඒ කියන්නේ මම නිමේෂට ආදරේ කරලා නැද්ද? මං එදා වුනත් නිමේෂාගේ ගෙදර ගියේ එයාගේ බල කිරීමට මිසක් මගේ හද පතුලෙන්ම ඇතිවුණු උවමනාවකට නෙවෙයි නේද කියලා මගේ හිත තාමත් මාවම ප්‍රශ්න කරනවා ...

හැබැයි කාලය ගතවෙනකොට තමයි මට අවබෝධ වුනේ මම කලේ වරදක් කියලා, මම නිමේෂට ආදරේ කල කියලා . කාලයත් එක්ක මට නිමේෂාගේ වියෝව විරහවක් හැටියට දැනෙන්න ගත්තා . විරහ ගීත අහගෙන ,හුදකලාවේ ඉඳගෙන ඒ විරහව විඳින එක වෙලාවකට විස්තර කරගන්න බැරි හැගීමක් වුනා .

"රස්සාව ලැබුණ දවසේ පෙම්වතිය නැතිවීම ... හ්ම්ම්ම් "

"හුම් හුම් ගගා ඉන්නේ නැතුව මේ තේ එක බොනවා ..ආ ......"

"ඔහොම තියන්න නංගි ..."

"තිය තියා ඉන්නනම් ගෙන්න ඕනේ නෑනේ අයියේ ..මේක බීලා යන දේවාලෙක යනවා .."

********

" ම්ම්ම්ම්ම් 3 missed calls "

මග හැරුන අංකය මොකක්ද කියලා මතක් කරන්න උත්සාහ කරද්දීම ආපහු ඒ අංකයෙන් ඇමතුමක් ...

"හෙලෝ .."

"හෙලෝ ...මේ රුවන්ගිගේ ගෙදරද?...."

ඒ ඇහුනු කටහඬ තාමත් කන ඇතුලේ දෝංකාර දෙනවා වගේ...මම හිතන්නේ මගේ ජීවිතය තුල ඇහුනු මිහිරිම කටහඬ .....මම ටික වෙලාවක් යනකං කතා කරගන්න බැරුව ගොත ගැහුනා ..ඇත්තටම එහෙම වුනේ ඇයි......?

හෙලෝ ....හෙලෝ.....

ඒ කටහඬ නොනැවතී දිගටම ....

ඔව්....ආ මේ ..නෑ ...නෑ ...නෑනේ .......
කවුද ඔය ....?

"ම්ම් එහෙමද ...මට එයා දුන්නු නම්බර් එකනම් මේක ..මම ලියාගෙන වැරදිද දන්නේ නෑ... කමක් නෑ .බොහොම ස්තුතියි ...."

"මේ පොඩ්ඩක් ඉන්න ....."

"ම්හ් .ඇයි ....."

"නෑ.. මේ මේ ..ඔව් සමහර විට ඔයා ලියාගෙන වැරදි ඇති ....."

"හි හි හි ..ඔව් එහෙම වෙන්න ඇති .....තෑන්ක් යූ ..."

"බායි .."

*******

එදා රෑ නින්ද ගියෙත් නැද්ද මන්දා.... බොළඳ නවකතා , මල් කතා කියලා මිනිසු හංවඩු ගහපු පොත් කීපයක්ම කියවා තිබ්බ නිසාමද මන්දා "ආත්මීය ලෙන්ගතු කමක් "ඒ කටහඬේ තිබ්බද කියලා හිතෙනවා . මේකට ආපු පලවෙනි මිස්කෝල් එක මේක නෙවයි වුනත් මේ කටහඬ මට මතක් වෙන්නේ ඇයි. නින්ද නැතුව ඇන්දේ එහෙ මෙහෙ පෙරලෙන වාරයක් ගානේ ඒ කටහඬම ඇහෙන්නේ ඇයි?

ඒ කටහඬ ආපහු අහන්න මට හිතුනත් ....මොකක්දෝ හිත කීරි ගැහෙන හැගීමකුත් එක්ක බයක් හිතට දැනුනු නිසා මම ඒ අදහස දවසින් දවස කල් දැම්මා ...."

එත් දවසක් හිතලා හිතලා හිතට ගත්තු දහිරියත් එක්ක මම ආපහු කෝල් කලේ ඒ කටහඬ අහන්න තිබුණු ආසාවටමයි ..

" හෙලෝ .................හෙලෝ....................හෙලෝ......"

කීපපාරක්ම ඒ කටහඬ ඇහුවට පස්සේ මම කතාකලා ...

"හෙලෝ ..ඔයාට රුවන්ගිගේ නම්බර් එක හම්බ වුනාද?.............."

"ම්ම්ම්ම් ...කවුද මේ ........

********

සුදු අයියේ ..................අයියේ ....

"ඇයි මොකද ? මොනවද ඕනේ ......බටර් නැතුව කියනවද "

"අයියේ ....මේ ඔයා ...අද .........එනකොට ..."

"ඇඹරෙන්නේ නැතුව කියනවා ඕයි මට පරක්කුවෙන්වා ...."

"අප්පෝ මෙයාගේ සැර....
අනේ ..අයියේ ඔයාට පුලුවන්ද මට අර "ඇමරිකන් බියුටි "කියන රෝස මල් පැලයක් ගෙනත් දෙන්න ...අනේ ගෙනත් දෙනවකො හලෝ......."

"පිස්සුද තමුසෙට ....ඇමරිකන් බියුටි ..බම්බුව ....යනවා යන්න ......අම්මේ මම යනෝ ..."

"හාහ් ඒ කියන්නේ බැරිද ? ඉන්නවකෝ මම කියන්න අම්මට රෑ තිස්සේ කුටු කුටු ගගා ලව් කරන ඒවා ඔක්කොම කියනවා ...."

"කියා ගන්නවා ඉතින් .....එහෙම කිව්වට ඒ වචන ටික ඇහුණාම මගේ හිත පුදුමාකාර ප්‍රබෝධයකින් පිරීයනවා වාගේ දැනුනා...මග අරුණු ඇමතුම මගේ ජීවිතයේ මෙච්චර වෙනසක් කරාවිය කියන දේ මම හීනෙකින් වත් හිතුවේ නෑ...

ඒ වෙනකොට මුතු එක්ක කතා කරන එක දිනචරියාවේ අංගයක් වෙච්ච බව නංගිගෙන් හංගන එක ලේසිවුනේ නෑ. ඇහින්වත් නොදැක කිසිම විස්තරයක් නොදැන මාස ගානක් පුරාවට ඒ කටහඬ එකම සංකේතය වෙච්ච මුතුට ඇයි මෙච්චර ආකර්ෂණයක්, ඒක ආදරයක්ද?.

එහෙම වෙන්න පුලුවන්ද ? දකින්නේ නැතුව, මූණ බලාගෙන කතාකරන්නේ නැතුව ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? නෑ නෑ ඒක ආදරයක් නෙවෙයි ..... නැත්තේ මොකද එහෙනම් මොකද හැමදාම උදේට ෆෝන් එක  දිහා බලන්නේ මිස්කෝල්, මැසේජ් තියෙනවද කියලා. මොකද එහෙනම් දවසක් කතා කරන්න බැරිවුනොත් මහා හුදකලාවක් දැනෙන්නේ ...?


කොහොම වුනත් නිමේෂා පසු නිසා කාලීනව ඇතිවුණු විරහ වේදනාව අඩු කරගන්ට මම යොදා ගත්ත ක්‍රමයක් විතරද මේ ..

මගේ හිත හැම තිස්සෙම මගෙත් එක්ක වාදේට පැටලෙන එක මට වෙලාවකට හිරිහැරයක්. ඒ වෙලාවට මම  මගේම කොන්ඩෙන්  ඇදගෙන ඇදගෙන ගියේ පිස්සුවෙන් වගේ ...

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා ......
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා......

**********

"මේ මුතු ..... "

"ම්ම් ඇයි ...මගේ නම පාඩම් කරනවද .....හි හි හි හි ....."

"හැම එකටම හිකි හිකි ගාන්නේ නැතුව ටිකක් අහගන්නකෝ .."

"කියන්නකෝ සර් එහෙනම් ..හි හි හි හි හි ...."

"ඔය ආයෙත් හිකි හිකිය ...ළඟ හිටියනම් පලනවා කන ...."

"ඒකනේ ලඟට එන්නේ නැත්තේ  හි හි හි හි හි ....."

"මේ  ඒක නෙවෙයි .....මට දැන් හරි ආසයි ඔයාව දකින්න ........ කවදද අපි හම්බ වෙන්නේ .......?"

"ඉතින් ඔයා මාව දැකලා තියෙනවනේ ,"

"ඒ ඉතිං ෆොටෝ එකෙන් නේ ..."  
මම එහෙම කියනකොටත් රතුපාට හැට්ටයක් ඇඳගෙන අරලිය මලක් ඔලුවේ ගහගෙන ලස්සන හිනාවකින් සැරසිලා ඉන්න මුතූගේ උඩුකය චායාරූපය මගේ අතේ , හැමදාම මුතූ එක්ක කතා කරනකොට එයාගේ ෆොටෝ එක අතට ගන්න එක මට නොදනුවත්වම වුණු දෙයක්.

"ඒ වුනාට කවුද දන්නේ එක වෙන කාගේ හරි ෆොටෝ එකක්ද කියලා ..."

"ඔයා හිතන්නේ මං ඔයාට වෙන කාගේ හරි ෆොටෝ එකක් එව්වා කියලද සුරාජ් .....?"

"හා හා ඉතින් තරහ ගන්න එපා ..මම කිව්වේ ඔයාව මට දැන්ම බලන්න ඕනේ නිසා .."

" අපෝ මෙයාගේ හදිස්සිය ....පොඩ්ඩක් ඉන්න ...."

" බෑ බෑ ..පොඩ්ඩක්වත් ඉන්න බෑ අදනම් ඔයා මට හම්බවෙන විදිහක් කියන්නම ඕනේ ...."

"ඉවසන්න පුරුදු වෙන්න සුරාජ්....
අපි හදිසි වෙලා වේගෙන් යනකොට අපිට වටේ තියෙන දේවල් පෙන්නේ නෑ... අපිට ඇත්ත වගේම ලස්සනත් මග ඇරෙනවා ..ඒත් හෙමින් යනකොට හැමදෙයක්ම පැහැදිලියි ..එතකොට අපිට ලස්සන බලන්න පුළුවන් ...සත්‍යය දකින්න පුළුවන්....."

"ඔය පණ්ඩිත වාක්‍ය මට වැඩක් නෑ ...ඔයා මට අද දවසක් කියනවද නැද්ද?...

"අප්පෝ මෙයාට යන තරහා ....
ඇයි ඔයාට ඔච්චර හදිස්සි .සමහරවිට ඔයාට හොඳ ගෑනුළමයෙක් ගෙදරින් ප්‍රපොස් කරල වෙන්න ඇති  ?    හි හි හි

මුතූ ..අදනම් ඔයාට මග ඇරලා යන්න වෙන්නේ නෑ මෙහෙම එක එක විකාර කියවලා .

"මම ඔයාට ආදරෙයි මුතූ....."  
 මම ඒ වචන ටික කියාගත්තේ කොච්චර අමාරුවෙන්ද ? හරියට උගුරේ කාලයක් තිස්සේ හිරවෙලා තිබ්බ දෙයක් එක සැරේම එලියට ආවා වගේ සැහැල්ලුවක් මට දැනුනා ඒ වචන ටිඅක් පිටවුණාට පස්සේ .

ඒත් ඊට පස්සේ ඇතිවුණු දිග නිහැඬියාව ආයෙමත් මාව නොඉවසිලිමත් කළා

"මුතූ..................?"

"සුරාජ් ...... මටත් ඔයාට එහෙමම කියන්න පුළුවන් ..එත් ඔයා මං ගැන හරියට දන්නේ නෑනේ .."

"එක තමයි මම මේ දැනගන්න හදන්නේ .." මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ ?"

"ඒක දිග කතාවක් සුරාජ් , මං මේක ඔයාට කියන්න ඕනේ කියලා හිතනවා එත් මට එකට හිත හදාගන්න කාලයක් ඕනේ .."

මං දන්නවා මුතූ .. ඔයා ඔය හදන්නේ .... මම කලින් යාළුවෙලා හිටියාය , එයා දාලා ගියාය ,එයා අමතක කරන්න බැරිය ..කියා කියා සාම්ප්‍රදායික බයිලාවක් ගහන්නනේ , ඔයා මං ගැන හරියට දන්නේ නෑ ..මට ඔයාගේ අතීතයෙන් වැඩක් නෑ."

සුරාජ් ..මට ටිකක කල් දෙන්න

කොච්චර කල්ද?

ඊට පස්සේ අයෙමත් ඇතිවුනේ මං අකැමතිම නිහැඬියාව ..එළියේ කෑ ගහන රැහැයියන්ගේ සද්දේ පවා මට හොඳින් ඇහුනා . ටික වෙලාවකට පස්සේ නිහඬ බව බිඳගෙන මුතූ ආපහු කතා කළා

"හරි ඔයාට පුලුවන්ද මම වෙනුවෙන් දෙයක් කරන්න ..."

"මොකක්ද ....මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා ඔයා හිතනවද?"

" ඔයා මම වෙනුවෙන් රෝස පැලයක් හිටවන්න ......"

"රෝස පැලයක්......?"

"ඔය ඉතින් ආයේ කලබලේ ...අහ ගන්නකෝ.... මමත් එකක් හිටවනවා ඔයා වෙනුවෙන් ...අපි දෙන්නගෙන් කාගේ හරි එක්කෙනක්ගේ ගහක මලක් පිපිණු දවසක අපි හම්බවෙමු ....ඒ මලත් අරගෙනම ...."

"හැක හික් ...ඉතින් කරමු ..."

"හැබැයි සුරාජ් මේක අවංකව කරන්න ඕනේ ....ඔයාට ඕනේ නම් කඩෙන් මලක් අරන් මාව රවට්ටන්න පුළුවන් එත් මම හිතනවා ඔයා අවංකයි කියලා ..මේක මගේ ඉල්ලීමක්....."

 මම ආයෙත් කලපනා කලේ මොන විකාරයක්ද මේ කියලා , මම මෙහෙම දේවල් හින්දි ෆිල්ම් වලනම් දැකලා තියෙනවා . හැබෑ ජීවිතයේදී මෙහෙම විකාරයක් ඇහුවමයි .

හැබැයි ඒ ඉල්ලීම කරපු විදිහෙන් මට කොහෙත්ම බොරුවක් කරන්න හිතුනේ නෑ.....

*************

" අප්පේ මේ මොකද ......? අද නම් බස්නාහිරින් ඉර පායයි..... අනේ ඇමරිකන් බියුටි එකක් නේද...? , මොකද මේ ............. මොනා වෙලාද ඔයාට ..."

"ඇයි තමුසේ ඉල්ලුවේ ...?"

"ඒ කොයි කාලේද ...ඇයි තමුසේ බෑ කිව්වේ ...
මොකද මේ ..ආ....පොච්චියකුත් ගෙනත් ...අර රෑට රෑට මල් කඩන කෙල්ල කිව්වද රෝස පලයක් හිටවන්න කියලා .....අම්මේ..................."

"ඕයි... හරකි ..මෙහෙ එනවා ..අම්මට කියලා තිබ්බොත් බලාගෙනයි ........"

"ඌයි කන ...."

"මේ නංගි ..මට මේක හිටවන්න කියලා දෙනවකො ......"

"අප්පට බොල....මෙන්න වැඩක්......අපි කිව්වම වතුර ටිකක් දාන්න බෑ ..කොහෙවත් ඉන්න කෙල්ලෝ කිව්වම පෝච්චිත් උස්සගෙන එනවා මෙතන ...මට බෑ...."

ගස්සාගෙන හැරුණු නංගි ගෙට ගියාම ..මං කලේ රෝස මල් පැලේ සීරුවට පෝච්චියේ හිටවපු එක ...'

"කවදාවත් මල් පැලෙකට වතුරවත් දාලා නැති මගේ අතින් හිටවපු රෝස පැලේ දළු දාලා පැලවෙලා එනකොට මට හරිම ආස හිතුනා ....මගේ සාත්තුවෙන් රෝස පැලේ සරුවට වඩේන හැටිත් ..මං සාත්තු කරන හැටිත් නංගි බලාගෙන හිටියේ හිනාව පුරවාගෙන .....

**********

රෝස පැලේ පොහොට්ටුවක් ඇවිත් තිබ්බ දවස මට අද වගේ මතකයි .....පහුවදාම මම මුතු එක්ක ඒ ගැන කිව්වේ හරිම සතුටකින්.....

"ඇත්තද ......"

"ඔව් ..ඇයි ඔයා දුකින් වගේ ...ඔයාට සතුටු නැද්ද.....?, ඔයා ඒ ගමන තවත් හේතුවක් හොයන්නද හදන්නේ හම්බවෙන්නේ නැතුව ඉන්න "

"තරහ ගන්න එපා සුරාජ් ..ඔයා හරිම හොඳ කෙනෙක් ....එත් ඔයා ගේ ඔය කලබලේ තමයි වැඩේ ...."

"වෙනදා සැහැල්ලුවෙන් කතා කරන මුතු මොකද මේ අද සීරියස් වෙලා...."

එත් මං අහපු දේට උත්තර දෙනවා වෙනුවට ....

"සුරාජ්.....ඔයා හොඳටම දැක්කද පොහොට්ටුවක් ඇවිත් කියලා ......"

"ඔව් මොකද මම නොදැක්කේ ..මාස ගානක් බලන් ඉඳලා මේක දැක්ම මට දැනුනු සතුට ඔයාට නැති එක ගැන මට හරිම පුදුමයි මුතු "

"ඔයා දැක්කද සුරාජ් ඒ රෝසමල වටේට තියෙන කටු ...කොච්චර ලස්සන රෝසමලක් වුනත් වටේට තියෙන කටු හරිම නපුරුයි සුරාජ්....."

"මුතූ................"

"සුරාජ් ..... මම දන්නවා මේ ටික ඇහුවට පස්සේ ඔයා මට තවත් කෝල් කරන එකක් නෑ කියලා , එත් අපි ඇත්තට මූණදෙන්න ඕනේ සුරාජ්........

මං උපතින්ම කකුල් දෙකම නැති කෙල්ලෙක් සුරාජ්....මම .................

බිම වැටුණු දුරකතනයෙන් තවත් වචන එලියට එනවා වගේ මට ඇහුනත් ඒ මොනවද කියලා හොයන්න මම උත්සාහ කලේ නෑ....

එදායින් පස්සේ මම කවදාවත් රෝස පැලේට සාත්තු කරන්න ගියේ නෑ.... ඒ පැලේ ඔහේ මියැදෙන්න හැරියා  හරියට මගේ මතකය වගේම ............මම වැරදිද......?


Wednesday, March 12, 2014

පොඩි පුතා


ලොකු පුතේ......අනේ ලොකු පුතේ........බලාපන් ලොකුපුතේ

ඒයි ....අන්න අම්මද කොහෙද ? ඒයි ...නැගිටින්න අනේ ......

මම උඩ විසිවී ඇහැරුනේ අම්මගේ සද්දයට නොව ..මීනා කොසුමිටේ අග්ගිස්සෙන් ඇන්න පාරට බව මට මතක්වුනේ ..දුවගෙන ගොස් දොර අරින්කම්ම පශ්චාත් භාගට රිදුම් දෙන්නට වූ බැවින් සහ අම්මගේ හඬ ඇසෙන්නට වූයේ ඊටත් ටික වෙලාවකට පස්සේ බැවිනි.

දොර අරින්න්ටත් පෙරම දොර තල්ලු කරගෙන් ගේ ඇතුලට පැනපු අම්මා  ගමන් මාව බදාගෙන හඩන්නට විය ....

"අනේ ලොකු පුතේ ...උඹේයි ,මගෙයි ආත්මගෞරවේ ඉවරයි ..ඉවරෙටම ඉවරයි ....බලාපන් මේ මල්ලි කොරන්ට හදන වැඩ......තාත්තා හිටියනම් මොනවයින් මොනවා වෙයිද ..අපි නම්බුකාර විදිහට ජීවත් වෙච්ච මිනිස්සු නේද ලොකු පුතේ ..."

"හරි අම්මේ ඉතින් මොකද ඒ පාර .......මිනිහා අර ඩොරින් එක්ක පැනලා ගිහින්වත්ද.... .."

නෑ පුතේ එහෙම දෙයක් නෙවෙයි ......"

"එහෙනං....?

මිනිහා රස්සාවකට යන්ට හදනවා .........මං ඒක එපා කියපුවාම තව තව රස්සා වගයක් ගැන කියනවා ඒ එකක්වත් අදකාලේ වැදගත් මිනිහෙකුට කරන්ට පුළුවන් රස්සාද?

හප්පේ මං හිතුවේ මිනියක්වත් මරලා කියලා ..දැන් මොනවද ඔය රස්සා ......

වටපිට බලපු අම්මා මගේ කන දිහාට ලන්වුනේ රහසක් කියන්ට වගේ ..ඒත් ඒ සැනින්ම අම්ම අහකට වුනා ..මම පිටිපස්ස හැරිලා බලද්දී දැක්කා මීනා කොස්සත් අතේ තියන් දොර ලඟින් මෑත් වෙනවා ....

කනටම ලං වෙච්ච අම්මා ....."පොලීසියට" ....කියලා කිව්වේ හරියට මහා අපරාධයක් කරපු කෙනෙක් ගැන කියනවා වගේ ..

ආ ඉතින් හොඳයිනේ ......කොච්චර දෙයක්ද? මට එක කියවුනේ වැටේ කේස් එකට ඊයෙත් නලින් කාරයා මාත් එක්ක පැටලෙන්ට ආපුනිසා .."දෙන්නම් සබ්බුව මලයා පොලිසියට ගියාම " ඒක හිතෙන හිතුවත් පිටකරේ නැත්තේ අම්මගේ ප්‍රතිචාරේ කොහොම වෙයිද දන්නේ නැතිනිසා ..

දැන් ඔය පොලිසියට ගියාම මූට ඔය එක එකා එක්ක ආයුධ හංගලා තියෙන තැන් බලන්ට යන්ට හැංගිමුත්තන් කොරන්ට යන්ට වෙයිද ලොකුපුතේ ,,

"ම්ම්ම් ඔව් සමහරවිට ..."

"එතකොට සමහරවිට ඕකට SI පට්ටමක් ලබෙන්ටත් බැරිකමක් නෑ නේද?"

"ඔව් ලැබෙයි ..."

"දෙයියනේ එතකොට සල්ලිකාර ගෑණියෙක් එක්ක අහිහොන්දයිකම් පවත්තලා ඕකව මරලා දායිවත්ද ?"

"නෑ ...ඉතිං..........මේ ....හැමෝම එහෙම නෑනේ ........මේ....."

එතකොට කවදා හරි ඕකා O.I.C. කෙනෙක් වෙයිද ..."

"ඔව් වෙයි වෙයි .....අනිවා ..."

"එතකොට ඌ පොලිසිය ඇතුලෙම කුඩු විකුනයිද පුතේ ...."

"අප්පට සිරි ........නෑ....."

"එතකොට ඕකා කවදාහරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙයිද .....'

"ඔව් වෙන්නත්පුළුවන් ........ඒ කතාව කියනකොට මට පොඩි ආඩම්බරයකුත් ආවා ..."

"විනාසයි විනාසයි ......."

":ඇයි අම්මේ ..........?

"ඇයි අහන්නේ බොල ඕලමොට්ටලයෝ උඹට තේරෙන්නේ නැද්ද ...ඔතනට ගිහින් ඕකා මුළු රටක් ඉස්සරහ කෙබර ඇදබානකොට මුළු රටේම මිනිස්සු බනින්නේ ඌට නෙවෙයි බොල මට ....මේ හතර පෝයට සිල් ගන්න මට  ඕකා නිසා මුළු රටේම මිනිස්සුන්ගෙන් බැනුම් අහුවැකිද?

ඉත්න් මම ඒ රස්සාවට අකමැති වුනාම ඌ කියනවා ඌ කොහොම හරි ගුරුපත්වීමක් ගන්නවලු....

" කොච්චර හොඳද....?"

"දැන් ඔය ගුරු පත්වීම හම්බවුනාම දුෂ්කර සේවේ ඉන්න වෙයිදපුතේ ?"

"ඔව් අඩු ගානේ අවුරුදු පහක්වත් ..."

"ඉතින් එතකොට ඒ කාලේ ඕකා දඩමස් විකුනයිද?.."

"අනේ මන්දා ,,අම්මේ ....."

"මූ ඉස්කෝලේ විනය පාලක තනතුරට පත් කරයිද?

"ඔව් එහෙම වෙන්නත් පුළුවන් '

"එතකොට එක්කෝ මූ කොල්ලෙක්ගේ කනපලයි, නැත්තම් ගවුම් වාටි ලිහලා ඉස්කෝලේ ඉස්සරහ දනගහගෙන ඉන්න වෙයිද.....අනේ දෙයියනේ .."

"හරි ඉතිං ...විනය ඕනේ නෑනේ තව දේවල් තියෙන්නේ ගුරුවරයෙක් වුනාම..."

" මොනවද අමතර පංතිද?  නෑ නෑ ඕනේ නෑ ඊට පස්සේ ප්‍රශ්න පත්තර උස්සලා කියලා හිරේ ලගින්න වෙයි "

"මේ ලොකු පුතේ ..."

"ම්ම්.."

"කවදා හරි ඕකා ප්‍රින්සිපල් කෙනෙක් වෙයිද .."

"ඔව් ඉතින් වෙයිනෙ "

"අනේ අම්මේ ... එපා ...එක්කෝ මූ කුණුහරුපෙන් බැනලා කෙල්ලෝ කොල්ලෝ බෙල්ලේ වැල දාගනියි ,නැත්තම් ළමයෙක් ඉස්කෝලෙට දාගන්ට කියලා කාගේ හරි ගෑනු ගැටෙකට අහුවෙලා පරම්පරාවේම නම්බුව කයි ...එක්කෝ පගාවක් ගත්තා කියලා පොලිසි ගානේ ලගින්ට වෙයි .....ඔය මොකක්වත් නැත්තං කොල්ලෙක් ඔපිසියට පැනලා මුගේ කොන්ද කැඩෙනකම් ගහයි ...
ඕනේ නෑ ඕනේ නෑ......."

ඊට වඩා හොඳයි හමුදාවට යන එක මොකද ප්‍රින්සිපල් කෙනෙක් වුනත් අන්තිමේ ඉතින් වෙන්නේ හමුදා කාරයෙක් වෙන එකනේ ...හමුදාවට ගියානම් එකක් ..මෙහෙම ගියාම වෙන්නේ වෙඩි  තියන්ට තියා රතිඤඤාවක් වත් පත්තු කොරන්ට බැරි කොර්නෙල් කෙනෙක් වෙන්ට නේ

අම්මේ ...අම්මේ.........

ඇතින් කෑ ගහමින් මල්ලි මතුවෙනකොටම මගේ බඩ පපුව පත්තුවෙලා ගියේ  මූ ඒ ගමන මොන හරුපයක් කියලා අම්මව තව අවුස්සා ගනියිද කියලා

"අම්මේ අම්මේ ..හාහ් හාහ් හාහ් .."

"අනේ ඉතින් හති දාලා ඉවරවෙලා කියහන් පොඩි පුතේ ....."

අම්මේ ..අම්මේ ...ලොකු අයියේ ...ඔන්න මමං ඔය රස්සා එකකටවත් යන්නේ නෑ.......මට අලුත් රස්සාවක් හම්බවුනා ......."

"මොකක්ක්ද පොඩ්ඩෝ ......'?

"මේ බලන්න ....මල්ලි අතේ තියාගෙන හිටපු කොලේ දිග ඇරලා අම්මටයි මටයි පෙන්නුවා ...

"ශ්‍රී ලාංකීය පප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ "අළුගෝසු "තනතුර ....."

මේක දැකපු අම්මාගේ ඇස් දෙකට කඳුළු පිරුනා ...එත් බලද්දී ඒ සතුටු කඳුළු

"මගේ පොඩි පුතේ ...මම දැනගෙන හිටියා කවදා හරි උඹ කුරා කුහුඹුවෙකුටවත් වරදක් වෙන්නේ නැති රසාවක් තෝරා ගන්න බව උඹට දෙයියන්ගේම පිහිටයි "
.
.
.
.

ගිය අලුගෝසුවා නොආවොත් වෙනත් අයෙක්‌ ගන්නවා- බන්ධනාගාර දෙපාර්තමේන්තුව



Sunday, March 2, 2014

අවසන් සක්මන




හැම සම්බන්ධයකම අවසාන හමුවීම් බොහෝවිට ඉතාම හැඟුම්බරයි .සමහරවිට දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වෙනවා ,සැමියා බිරිඳගෙන් වෙන්වෙනවා , සිසුන් ගුරුවරුන්ගෙන්,සේවකයා ප්‍රධානියාගෙන්,ආයතනයෙන්, මිතුරු පිරිසෙන් වෙන්වෙනවා

ඇතැම් වෙන්වීම තාවකාලික් වුනත් සදාකාලික තරමටම හදවත් හැඟුම්බර කරවනවා .

ලෝකය ගම්මානයක් බවට පත්වෙලා තිබෙන ,තාක්ෂනය ඉතාම දියුණු මේ යුගයේ සදාකාලික් වෙන්වීම් යනුවෙන් යමක් නොමැති බවට කෙනෙකුට තර්ක කරන්නට පුළුවන් .කෙනෙකුට තවත් කෙනෙකු හා තමුන්ට රිසි ලෙස සම්බන්ධ විය හැකි තරමට අද තාක්ෂණික මෙවලම් අද වනවිට පවතිනවා .

එහෙත් ඒ කිසිවකින් හදවතේ ජනිත වන හැඟුම් ඒ ආකාරයෙන්ම ජනිත් කරන්නට සමත් වේද?

පෙම්වතෙකුට පෙම්වන්තියකට කාලය යනු කොතරම් තිබුනත් මදිවෙන එකම දේ වන්නට පුළුවන්. තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමග තුරුළු වී ගතකරන සෑම හෝරාවක්ම විනාඩි කිහිපයක් ලෙස දැනෙන්නේ ඇයි.....?

යම් යම් බාහිර හේතූන් නිසා පෙම්වතෙකුට පෙම්වතියකට වෙන්වී යන්නට සිදුවුනොත් ...? ඒ වෙන්වීයන මොහොතේ ඇති හැඟුම්බර බව වටහාගත හැකිද? ඒ අවසාන සැන්දෑව කොතරම් නම් කෙටි විය හැකිද?
 ඒ අවසන් මොහොත මේ විශ්වයේ වේගයෙන්ම ගතවුණු මොහොත ලෙස ඔවුන්ට දැනෙන්නට පිළිවන.

අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

වෙන්වී ගියත් හුරුපුරුදු ගහකොළ,මල්, මංමාවත් දකින දකිනා වාරයක් පාසා ඒ සොඳුරු මතකයන් ..හදවත් අඳුරු කරනවා ,,කුමන හේතුවක් උදෙසා වෙන් වූවද එහි දුක දැනෙන්නේ වෙන්වූවන්ට පමණි. ලෝකයට කාලයක් ගතවනවිට මේ සියල්ල අමතකව යයි.එත් අපට..?

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

කෙසේ අවසනදී අහිමිවූවන්ට පමණක් දුක උරුම කර තියා කාලය සුපුරුදු ලෙස ගලා යයි. ස්වභාව දහම සුපුරුදු ලෙස පවතියි...

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

හමුවීමක් නොමැති නම්  වෙන්වීමක් නොමැත ....හමුවූ සැවොම වෙන්වී යායුතුය ...ආවොත් යා යුතුය ...නොගොහින් යලි එන්නට බැරිය....


අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

අවසාන සැදෑ සක්මන............... 

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්  


Singer : Somathilaka Jayamaha
Lyrics : Ravi Siriwardana
Music : Rohana Weerasinghe