Friday, February 19, 2016

අම්මටසිරි දයාසිරි , සොරි



ක්‍රීඩා ඇමතිතුමා ගැන කතාබහ හැමතැනමය , මූණුපොත පුරාවට ක්‍රීඩා ඇමතිතුමා සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහපු සෙල්ෆිය , ඇමතිතුමා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන අපේ කණ්ඩායම් දිරිමත් කරන හුරේ දාන පින්තුරය ,

බ්ලොග් අවකාශයේ මෙන්ම පත්තර පිටු වලද ඇමතිතුමාගේ කැපවීම නිහතමානිත්වය ගැන වර්ණනාය , ඒ අතරේ අපේ සාග් කණ්ඩායම රන් පදක්කම් 25 ක් දිනාගෙන සමස්ත පදක්කම් 186 ක් දිනාගෙන ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටියි . සියලු ක්‍රෙඩිට් ඇමතිතුමාට බරවෙයි. ඒ අව් අස්සේ ඕල් රවුන්ඩර් කෙනෙකු සහ හිටපු මෙගාස්ටාර් කෙනෙකු වන ඇමතිතුමා කණ්ඩායමට සුබ පතා ගීතයක්ද ගායනා කරයි .

Tuesday, November 24, 2015

දෘෂ්ඨි රසය ??


ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන් පරිපූර්ණ විය යුතුද?

ගීතයකට පියවරුන් තිදෙනෙකි (නෛතික අයිතිය පදරචකයාට සහ සංගීතඥයාට හිමි වුවත්)  . නැතිනම් ගීතයක් බිහි වෙන්නේ පදරචකයා , සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාගේ සාමුහික ප්‍රයත්නයක් ලෙසයි. නමුත් රූපවාහිනියේ විකාශනයත් සමග ගීත අසා රසවිඳීම වෙනුවට ගීත අසා බලා රසවිඳීමට රසිකයින් හුරුවිය.

ඒ අනුව රූපවාහිනී තිරය තුල පෙනෙන ගායකයාගේ හෝ ගායිකාවගේ රූපකාය දෙස එක එල්ලේ බලාසිටීමට හුරුවූ රසිකයාට ගීතය තුල අත්දකින ඒකාකාරී බැවින් මුදාගැනීමට යම් යම් නර්තනාංග ඉදිරිපත් කිරීමට වැඩසටහන් නිෂ්පාදකයින් උත්සාගත්හ.

නමුත්අද වනවිට ගීතය තුන්ඈඳුතු ප්‍රයත්නයක් වෙනුවට සිව්ඈඳුතු ප්‍රයත්නයක් බවට පත්වී ඇති තරම්ය. ගීත රචකයා , සංගීතඥයා සහ ගායකයා තරමටම රූපරචකයා ද ගීතයේ සාර්ථක බවට සම සමව හිමිකම් කියන අයුරක් දකින්නට තිබේ.

සමහරවිට ගීතයක සාර්ථක අසාර්ථකභාවය රූප රචනයෙන් තීරණය වන තරමටම රූපරචනය ගීතය අතික්‍රමය කර ඇති සෙයක් දැනෙයි.

" විෂුවල් එකනම් පට්ට ", විෂුවල් තමා සින්දුවෙනම් ගතයුත්තක් නෑ"  යන වදන් නිරතුරවම පසක් කරන්නේ රූපරචනයෙන් ගීතයේ මුඛ්‍යාර්ථ පරාජය කර ඇති බවකි . සමහර අවස්ථාවල රූපරචනය ගීතයට සාධාරණයක් කරන්නෙම නැත. ගීතයේ අරුත වෙනුවට රූප රචකයාගේ හිතේ ඇති වෙනත් මොකක්දෝ බහුබූතයක් තරයේ දෘශ්‍යමාන වෙයි.

මුල් අවධියේ රූපවාහිනියේ විකාශය වුනු සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ නිර්මාණයක් වූ  " යාත්‍රා " ("තාරුණ්‍යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අරුමය " ) වැඩසටහනත් , "නඳුන් උයන" ත්  ගීතය මූලික කරගත් අගනා රූපරචනා බිහිවූ තිඹිරිගෙයක් විය . මේ වැඩසටහන් වලදී රවීන්ද්‍ර මුණසිංහ නම් වූ රූප රචකයා දැක්වූ දක්ෂතාවය අමතක කල නොහැක.

Monday, November 16, 2015

හාමිනේ(ට) කඩේ යාම ......... shopping with wife



මේ ...,මේ ....මේ ....
ඕයි නැගිටිනවකෝ ..... නැගිටිනවකෝ ... හැබැයි තේ එක නිවිලා කියලා කියනවකො බලන්න ..
නැගිටිනවා මිනිහෝ ...

මොකක්ද නන්දනී ... නිවාඩු දවසේ වත් .....

Monday, November 2, 2015

චරිත තුනක්



ග්‍රෙගරි වැව දෙසින් හමා ආ සීතල සුළඟ ගත දැවටෙද්දී, ඒ ගැන වගේ වගක් නැතිව කන්ද පාමුල දිග ගැරඬියෙක් වගේ පේන පාර දිගේ කුරුමිනියන් මෙන් පෙනෙන මිනිස්සුන් සහ ගිනිපෙට්ටි මෙන් පෙනෙන වාහන ගමන් කරන දෙස යශෝධා බලා සිටියේ හැඟීම් විරහිතව බව ඒ මුහුණ දකින ඕනෑම කෙනෙකුට සිතේ  .

නුවරඑළිය පරණ තැපැල්කන්තෝරුව ඉදිරිපිට දිනක් තමන් කුඩාකල  දෙමව්පියන් සමගින් නැරඹූ නයි නටවන්නා කල කතාව වරින් වර ඇගේ මතකයට  නැගුනේ දෑස් අගට කඳුලක්ද නගමින් ...

“ මේ නයා දැන් වයසයි , මූ මැරෙන්න කිට්ටු වුනාම මූට අත්තටු එනවා .. ඊට පස්සේ මුගේ ඇඟේ තියෙන විස  ඔක්කොම එකතුකරලා මූ හදනවා මැණිකක් , ඒක තමා නාග මාණික්‍යය කියන්නේ . ඒ මැණික වමාරලා මූ පියාඹලා යනවා ........ හැබැයි ඒ මැණික අපි හොඳින් පරිස්සම් කරගන්න ඕන . ඒක ළඟ තියෙනකන් අපිට සිතු පැතු සම්පත් ලැබෙනවා , හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා .......

ඔහු එදා කීවේ තම ජීවිත කතාව දැයි දැන් යශෝධා සිතන්නට විය . තමාගේ තිබු අසාමන්‍ය රූසපුව නිසාම ඩේවිඩ් තමන්ට ලංවූ අයුරු මතක් වනවිට වෙනදාට නම් ,එදා දැනුනු හදගැස්ම අඩුවක් නැතිවම දැනෙනවා යයි යශෝධාට සිතිනි . නමුත් අද......

බොහෝ බලාපොරොත්තු පැතුම් පොදි බැඳන් නෑ සනුහරේම විරෝධතා මතින් ඩේවිඩ් සමග කූඩු වන්නට තමන්ට සිතුනේ සංසාර ගත පුරුද්දක් නිසා වන්නට ඇත.

ඔයා  හරිම බ්‍රේව් ග..අ..අ..ල් ... කැඩිච්ච සිංහල මුසු ඉංග්‍රීසියෙන් කියූ පසු  ඔහු “I love you Yasho. I only want your love. Nothing else. It’s very simple” යැයි මිමිනීය.

ඔහු ඉංග්‍රීසියෙන් කියූ දේවල් ඇයට වැටහුනේ බොහෝ කාලයකට පසුවය. ඩේවිඩ් සමග ගෙවූ වසර පහ, ජීවිතයේ සුන්දරම අවධිය බවට සැක නැත. ... වසරක් යන්නටත් පෙර ඔහු ඇයට නාග මාණික්‍යයක් ලබා දී තිබුණි . කුඩා පුතු දෝතින් දරා සිටිද්දී ඇය නිරතුරුවම ඒ තුලින් ඩේවිඩ් මැවෙන අයුරු අත්වින්දාය . ඩේවිඩ් සමග තුරඟ තරග පිටියේ , ග්‍රෙගරි වැව අසබඩ සැන්දෑ සුවය විඳිද්දී කුඩා පුතු ඔවුන් දෙදෙනා අතර විය . ජීවිතය කෙතරම් සුන්දරද කියා ඇයට සිතුනු වාර අනන්තය, අප්‍රමාණය ..

“You know what?” ඔහු ඇසීමට පුරුදුව සිටියේය.

“Life is great. It’s a gorgeous day, I’m with my family. What else could anyone ask for?” 

ලොවම ඉදිරියේ ඇය සිප ගනිමින් පැවසීමට ඔහු මැලි නොවීය. ඇය වෙනුවෙන්ම ග්‍රෙගරි වැව පෙනෙන මානයේ කන්ද උඩ නිමවූ ප්‍රීතිමත් නිවසේ ඔවුන් තිදෙනා ඇත්තන්ම සතුටින් විසූ බව සිහිවී නැවත නැගුනු කඳුල ඇය වියපත් පිටි අල්ලෙන් පිස දැමුවාය .

නමුත් නාගයා අත්තටු ලබා පියාඹා ගියේය , Strathdon (ස්ට්‍රැත්ඩන්) වතුයායේ භාරකරු වූ ඩේවිඩ්ගේ පියාගෙන් ඩේවිඩ් ට ඉන්දියාවට කැඳවීමක් ලැබුනේ වසරක කාලයකටය , නමුත් ඉන්දියාව බලාගිය ඩේවිඩ් ගැන ඉන්පසු කිසිමදාක තොරතුරක් නොවීය . විමසා බැලීමට හෝ තොරතුරක් දැනගත් හැකි ආකාරයක් ගැන කිසිවක් තමන් නොදන්නා බව ඇයට සිහිවුනේ බොහෝ කල් ගතවීය. නෑදෑයන් කිසිවෙක් ඇය ගැන නොබැලු අතර අයටද නෑදෑයන් පිලිඹද හැඟීමක් නොවීය . ඇයගේ ලෝකය පිරී තිබුනේ ඩේවිඩ් ගෙන් සහ කුඩා පුතුගෙනි .

//” හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා”// දෙවරකට ලැබුණු ලිපි දෙක අතෙහි තියාගෙන නැවතත් ඇය සිහි කලේ තමන් අතින් සිදුවූ ඒ මහා වරද කිමෙක්ද කියාය.
පියා අහිමි වූ පුතු , දැනුම් තේරුම් ඇති වියේ සිටම පාසල් යාම හරියාක්රව සිදු නොකිරීම නිසා ,වරින් වර පෞද්ගලික ගුරුවරියන්ගේ සේවය ලබා දීමට ඇය පසුබට නොවුනාය .ඒ මන්ද ඉංග්‍රීසි කතා කරන වැදගත් මහතෙකු බවට පත් කිරීමට ඇයට තිබු දැඩි උවමනාවයි. වතුයායේ ඔහුට හිමි කොටස් වල ආදායම් සියල්ල ඔහු ඇගේ නමට හරවා තිබිණි , එය කවදා කෙසේ කළාදැයි ඇය නොදැන සිටි අතර මුදල් හදල් අතින් අඩුවක් නොවූ ඇය ජීවිතයේ තනිකම දරාගැනීමට හිත හදාගත්තාය .

ඩොනල්ඩ් කාවිංග වයසින් මුහුකුරා යද්දී ඔහුට තිබුණු ලොකුම හා එකම ප්‍රශ්නය වුනේ තම පියා කවුරුන්ද හා ඔහුට කුමක් සිදුවීද යන්නයි, මේ ගැන කතා බහෙන් නිතරම සිත රිදවා ගත් යශෝධාගෙන් කිසිවිටකත් පැහැදිලි උත්තරයක් ලබා ගැනීමට ඔහු අසමත් වුවේය .

ඩොනල්ඩ් කාවිංගට වයස අවුරුදු දහඅටක් සපිරෙද්දී ඔහු සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමට ගෙන්වාගත් ගුරුවරිය, යශෝධා හැඳින්වුයේ මිස් ටෙරන්ස් යන නමිනි. ප්‍රීතිමත් දෑසක් හිමි නිතරම සිනහ මුසු මුහුණෙන් සිටින හඬ නගා සිනාසෙන විට දෙකම්මුල වල ගැහෙන ඇය වයස තිස් හතරක් පමණ වූ අවිවාහක කාන්තාවකි.

Monday, October 26, 2015

සියය



සුක්කානම මත දකුණු අත තබාගෙන ඩ්‍රයිව් ගියරයට මාරුවෙමින් සෙමින් පාරට ගත රියේ ප්‍රධාන ලාම්පු දල්වා ගනිමින් ඉදිරියට ඇදෙන විට , මීට ටික වෙලාවකට පෙර වැටුණු වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..

ප්‍රධාන මාර්ගය දෙපස විදුලි එලි වහා නිවී යද්දී එක්වරම හාත්පස ආලෝකමත් විය .ඒ සැනින් කන් බිහිරි වන හෙණ හඬ ඇහෙන විටම ඇස්දෙක මොහොතකට පියවුනාක් මෙන් මට දැනුනි . වායුසමීකරණය හැකිතාක් ඉහල උෂ්ණත්වයකට ගෙන ආවත් ඇට මිදුළු කාගෙන යන සීතලක් දැනෙන්නේ කෙසේදැයි සෙවීමට මම නැවතත් සියලු දොර වීදුරු දෙස බැල්මක් හෙළුවේ ඉවසිය නොහැකිම තැනදිය.

ප්‍රධාන මාර්ගය දෙපස කළුවර වූ ගෙවල් අතරේ අතරින් පතර මලානික එලි වැටුණු ජනේල අතරින් එහා මෙහා යන අඳුරු පැහැ හෙවනැලි වලින් අද්භූත හැගීම තවත් තීව්‍ර වන්නට විය . සෙමින් සෙමින් ගස් අතු සෙලවෙමින් ආරම්භ වූ සුළඟ දැඩි වූයෙන් මග දෙපස ගස් අතු මාවම ගිලගන්නට බලාසිටින රාක්ෂයන් මෙන් මට දිස්වනන්ට විය .

Tuesday, October 20, 2015

ප්‍රතිලෝම



මේවා ෆෑන් නෙවෙයි නිකං රූං පෙති වගේ ,

වදින හුළඟක් නම් නෑ , කැරකෙනවා කියලා දැනෙන්නේ හිටපු ගමන් ඇහෙන ටක ටක සද්දේ නිසා .. ආණ්ඩුවේ කන්තෝරු කියන නමටම ගැලපෙනවා

දවසක ඔලුවට කඩන් වැටෙනකං දන්නේ නෑ... ශික් විතරක්...

ටක් ටක් ටක් ....

දොරට දෙතුන් පාරක් තට්ටු කරද්දී විනිවිද නොපෙනෙන බොඳවී ගිය වීදුරුව හරහා මට පෙනුනේ තැඹිලි පාට සාරියක් . ඒ සැනින් පුටුවේ හරිබරි ගැහී කොන්ද කෙලින් කරගත්ත මං ඉක්මනින් කොණ්ඩය අතින් හදාගෙන ළඟ තිබුණු ෆයිල් එකත් පෙරලගෙන ,

“ ඇතුලට එන්න “

Monday, October 12, 2015

කොහේ හෝ




අන්තර් ජාලයේ ගීත අතර පිහිනමින් සිටින අතරදී අහම්බෙන් මෙන් සවන් වැකුණු අපූරු ගීත දෙකක් ගැන සටහනක් තබන්නට සිත්විය . මේ ගීත දෙක අපූරු ගීත දෙකක් යැයි සඳහන් කරන්නට සිතුනේ ගීත දෙක අතර ඇති අපූර්ව සමානතාවය නිසයි . 

ගීත දෙක ලියවෙන්නේ රවී සිරිවර්ධන සහ ශාමිලා හුසේන් යන ගීත රචකයා සහ රචිකාවිය අතින් , අපූර්වත්වය වන්නේ කාන්තා දෘෂ්ටිකෝණයෙන් ගැයෙන ගීතය රවී සිරිවර්ධන අතින් සහ පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියවෙන් ගීතය ශාමිලා හුසේන් අතින් ලියවීමයි .

ගීත දෙකෙහි සත්සර මුසු කරන්නේ රෝහණ වීරසිංහයන් සහ දර්ශන වික්‍රමතුංගයන් ..

ගීතයට ජීවය කවන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්  සහ කරුණාරත්න දිවුල්ගනේ යන ප්‍රවීණන් යුවලයි .

Thursday, October 1, 2015

මචං....................





එකට පංතියේ අකුරු කෙරුවා
එකට ඕ එල් ඇණ වුනා
එකම බීඩිය එකට බීලා
එකම වලකට සෙට් වුනා

උඹට වැඩිවෙලා අපේ ගෙදරයි
මම වැටුනේ උඹලගේ පැලේ
එකම කමිසය එකම කලිසම
කෙල්ලෝ දෙන්නෙක්  එක්ක යයි

මගේ නම ඇති උඹේ අකුරුයි
මගෙ අකුරු වල උඹේ නමයි
ලියු පෙම්පත් වලින් ගිනි මැල
හදන්නට හිටියෙත් උඹයි

ගල් ද පොල් සහ හැලි කරිඤඤo
ණයට බිව්වට ඇනතියං
කොත්තු කාලා බඩෙන් බාගෙට
දුමක් ඇද්දේත් හවුලේ බං

සමරේ අයියගේ බයික් කටුවට
තෙල් ගැහුවේ පිං කැට බිඳන්
මියුසිකල් ෂෝ වලට ගියේ අපි
හවුලේ එක හෙල්මට් එකෙන්

කොහොම හිටියත් ජීවිතේ බර 
ටිකක් වැඩියෙන් දැනුනයින්
උඹ රටගියා මම වීල් පැද්දා
එගොඩ වෙන්නට මේ දුකෙන්

උඹ ආ වේලේ මට සතුටු හිතුනා
සිහිවෙලා පෙර මිතු දම
මිතු සිනහ නෑ වල කතා නෑ
මට පුදුම හිතුනා උඹ ගැන

රටින් ගෙන ආ දිගටි සිකරට්
වැදුනේ නෑ බීඩිය වගේ
විස්කි සැර මට උහුලන්න බෑ
නෑ රසට රා ටික වගේ

විස්කි හරියට ගණන් වෙන්නැති
ඒත් අපි ඈතයි වගේ
බීඩියේ තිබු රසය නැත්තේ
ඈත බව දැනිලා වගේ

ලිං ගැට්ට උඩ රස්ති කළු ගල
තාම තියෙනවා ඒ වගේ
පාර අයිනේ ගාඩ් ගල් උඩ
වාත වූ හැටි මැවී පෙනේ

ඒ ඔක්කොම එහෙම ඉද්දීම
මචං උඹ ඈතයි වගේ



පිදුම පත්තර මල්ලිට