Sunday, November 12, 2023

අප්සරා තන්ඩන්


 "ඒ අන්න එනවා එනවා"

"කවුද"

" අප්සරා"

" අඩේ... මේකි දකිද්දී මට මතක් වෙන්නෙම... රවීනා බං.."

" ඒ කවුද.... "

"අනේ බං ගණං විතරක්ම නෙවේ ජීවිතේ .. හිංදි ෆිල්ම් කියලා ජාතියක් තියෙනව.

"ආ එතකොට ජීවිතේ හිංදි ෆිල්ම්ද.."..


ඔය අපි තුන්දෙනා...

මායි මෝරයි ප්‍රියයි...

මායි කිව්වෙ මම.. ප්‍රගීත්.. මෝරා රසික ..ප්‍රියා ප්‍රියදර්ශන.

මෙතනින් මීටරේ ප්‍රියදර්ශන ... ගණං වලට හැමදාම සීයයි.. හෙනට උස🤣 නිසා අපි  කිව්වෙ අඟලේ ප්‍රියා කියලා..

මෝරා සිංදු කාරයා.. උගේ කටේ කොයි වෙලෙත් තියෙන්නෙ ග්‍රැමපෝන් යුගයේ සිංදු..


ඉස්කෝලෙ ඇරලා.. සල්ගාදුවෙන් බිත්තර රෝල් තුනක් කාලා විජය ඉන්ස්ටිටියුට් එකට ක්ලාස් යන එක තමා අපේ එකම විනෝදෙ.. ඉස්කෝලෙන් පටං ගත්තට ක්ලාස් එකට යැවෙන්නෙ එහෙමත් දවසක තමා..


ආ..එතකොට අප්සරා...අප්සරා අපේ ඉස්කෝලෙට ඒ ලෙවල් වලට ආව අලුත් කෙල්ලෙක්. මේකි ආවෙ හද්ද  ඩොටේ ඉස්කෝලෙකිං. ඒත් ඉංග්‍රීසි දිනය දවසේ මේකි රෝමියෝ ජුලියට් නාට්‍යයේ නිල්පාට ගවුමක් ඇඳගෙන රැඟුව රැඟිල්ලෙන් පස්සෙ ඉස්කෝලෙ කොල්ලොන්ගෙන් බාගයක් ඒකි පස්සෙ... අපිට මලම පැන්නෙ ඕකෙ රොමියො ගෙ චරිතෙට හිටියෙ පිනාගෙ පුතා. වෙන මොකා දැඟලුවත් වැඩක් වුනේ නෑ , ඒ ලෙවල් වලදි ඉංග්‍රීසි පීරියඩ් එක කට් කිරීමේ දුක පළවෙනි වතාවට දැනුනේ එද... මේකිගෙ ඒ දවස්වල එහෙම්ට ලස්සනක් කැපී පෙනීමක් නොදැක්ක නිසා මිසක් නාට්‍යයට පස්සෙ නං හැමදාම ඉංහ්‍රීසි කට් කලේ නෑ ඊලඟ එකෙවත් නාට්ටියට ගනී කියලා. ඊලඟ අවුරුද්දෙදී ඒ මගුල තිබ්බෙ නෑ කියහංකො


ඊලඟට ස්පෝර්ට් මීට් එකේදි... ඒකෙදි මේකි හෙල්ල, කවපෙත්ත වගේම මීටර් 1500, 3000 හතරෙම පලවෙනියා.. ඊට පස්සෙ ඉතුරු බාගෙත් ඒකි පස්සෙ...


*********


ඔය කාලෙදි "කරුමෙක මහත, නරක කාලෙ දැං මට" කියලා මට හිතුනා අප්සරාට ට්‍රයි කරන්න ඕන කියලා. මේකට අදහස දැම්මෙ අඟලේ ප්‍රියා හෙවත් ප්‍රියදර්ශන. 


" මචං..ඇත්තටම මේකි පිට යන්න දෙන්න හොඳ නෑ..අපි තුන්දෙනාගෙන් එකෙක් මේකට ට්‍රයි කරන්නම ඕන."  ඒ අඟලේ ප්‍රියා.


" මචං.. ඒක මචං ඇත්ත මචං.. උඹට මචං කියන්න මචං.. මචං හිතුනා මචං රවීනට ට්‍රයි කරන්න.."  වචනෙට දෙසැරෙ ගාණෙ මචං කියන රසිකයා හෙවත් මෝරගෙ අදහස ඒක.


" හරි එහෙනං උඹ ට්‍රයි කරාං... මම කිව්වා.


" ඒකි මචං කඩ්ඩෙං කොටයිද බං.. මට මචං ඕක තමා මචං..දිරවන්නෙ මචං නැත්තෙ..


"පිස්සුද බං. ඒ ඉංගිරිසි දිනේ කටපාඩං කරපු ලබ්බවල් බං.. ඒ ප්‍රියා.


"මේ ප්‍රගියා මචං.උඹ ට්‍රයි කරහං..මූට මචං ඉතිං තව අඩි මචං දෙකක්වත් උස මචං යන්න වෙනවනෙ ඒකට" මෝරා අවසාන තීරණේ දැනුම් දීලා පස්සට පැත්තට  සටාස් පටාස් ගාලා ගහගෙන පිට්‍යනියෙ පඩිපෙල උඩම පඩියෙන් නැගිට්ටා...


ආ උඹ නැගිටලමද හිටියේ .. මං හිතුවෙ වාඩිවෙලා කියලා... මෝරා ප්‍රියාට කිව්වා..


පල.හු...


*********** 

Saturday, November 4, 2023

ජීවගුණය

 



නවීකරණය කරන ලද අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට රැස්වූ ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් මෙන්ම රූපවාහිනිය ඉදිරියේ අසුන්ගෙන සිටි බිලියනයක් පමණ ක්‍රීඩා ලෝලීන් ද ඉහල ගත් හුස්ම හිරවූ සෙයක් පෙනේ.. 

විස්තර විචාරක කුටියේ සිට වෙනදා මහත් වූ තේජසින් සිය හඬ මෙන්ම අනිකුත් විස්තර විචාරකයන් අභිබවමින් මෙවර 2031 ක්‍රිකට් ලෝක කුසලානයේ සිය අණසක පැතිරවූ හිටපු ලෝක පූජිත පිතිකරු විරාට් කෝලි ගේ බිඳුණු මලානික හඬින් පිටවූ ඒ වදන්...


"The American cricket team made history by beating the defending world champion India for the first time and becoming the world cricket champions in 2031."


පිට පිටම ලෝක කුසලාන තුනක් ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ඒ වනවිටත් ලෝක ක්‍රිකට් වංශ කතාවේ ගෝඩ් ෆාදර්වරුන් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් විය.


2023 වසරෙන් පසු 2027 දකුණු අප්‍රිකා සිම්බාබ්වේ හි ලෝක කුසලානයෙන් පසු සත්කාරකත්වය දිගටම  සිව් වතාවකට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය හිමි කරගන්නේ ඔවුන්ට අභියෝග කිරීමට තරම් ධනවත් පාලක මණ්ඩලයක් ලොව නොමැති වීම නිසාවෙන් සහ IPL හරහා විසිවෙන මුදල් කණ්දරාව බොහෝ ක්‍රිකට් මණ්ඩල වල ප්‍රධාන ආදායම් මාර්ගය වූ නිසාය.


2023, 2027 ලෝක කුසලාන දිනාගත් ඉන්දියාව 2031 දිත් ලෝක කුසලානය දිනා පිට පිට තුන්වතාවක් ශූරයන් වීමට සහ පස් වතාවක් ශූරයන් වූ ඔස්ට්‍රේලියාවේ වාර්තාව සම කිරීමට උත්සාහ ගනිමින් සිටියදී සිදු වූ මෙම විශ්මය ජනක සිදුවීම ලොව පුරා මාධ්‍ය වෙත තිගැස්මක් එක් කල පුවතක් විය.


වඩාත්ම විශ්මයට කරුණ වූයේ ඇමරිකා එක්සත් ජනපදය එක්දින ලෝක කුසලානයකට වරම් ලැබූ පළමු වතාවේම ශූරතාවය හිමි කර ගැනීමයි.


Saturday, October 28, 2023

බ්ලැක් හෝක්

 


මේකට සැක කවුරුවත් ඉන්නවද මිස්ට අනුරාධ. 


සී  අයි ජයන්ත මාදිවල මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවෙ බිත්තියේ පෝලිමට ගහලා තියෙන ෆොටෝ වලින් ඇස් අහකට ගන්නෙ නැතුවම


ඒ ෆොටෝ ගත්තම වම්පැත්තෙ උඩ පේලියම වර්ල්ඩ්  නයිෆ් ත්‍රෝවිං ලීග් එකේ මම ක්‍රීඩා කරපු අවස්තා සහ තුන්වෙනි ස්තානය ගත්ත වෙලාවෙ ෆොටෝ.


ඊලඟ පේලිට අවසන් හතරදෙනා අතරට ආපු ඇමරිකාවෙ වර්ජීනියා  නයිෆ් ඇන්ඩ් ඇක්ස් ත්‍රෝවිං චැම්පියන්ශිප් එකේ ෆොටෝ.


තව චෙක් රිපබ්ලික් නයිෆ් ත්‍රෝවර්ස් චැම්පියන්ෂිප්, සමර් ඇක්ස් ඇන්ඩ් නයිෆ් ත්‍රෝවිං ලීග් වගේ ලෝකෙ පුරාම පිහිය විසිකිරීමෙව් තරඟවල ජයග්‍රහණ. සහභාවිවුන අවස්තා වල ෆොටෝ


ආ ... මිස්ට අනුරාධ .. ඇහුනද.. 


එහෙම කිව්ව ගමන් මට නටාෂාගෙ මූණ දිහා බැලුණා.... නටාෂා බිම බලාගත්තා..


එහෙම සැක කරන්ට කියලා කෙනෙක් මට එකපාරටම හිතාගන්ට බෑ ඉන්ස්පෙක්ටර්..


ම්ම්... CCTV වැඩ කරන්නෙ නැතුව කොච්චර කල්ද


ඒකනං ඉන්ස්පෙක්ටර් සෑහෙන කල්... හදන්ට කියලා එහෙමට උවමනාවක් ආවෙත් නෑ. ..ඒක මතක් වුනෙත් නෑ...


ඒවා එහෙම අත අරින්න හොඳ දේවල් නෙවේ මිස්ට අනුරාධ ..දැං පේනවනෙ.


Saturday, October 21, 2023

ෂහීනා....



ඒයි ඒකි පට්‍ට යකෝ.... 

එහෙම තමා ඒකිව දකින හැම එකාටම හිතෙන්න ඇත්තෙ. ඒ වුනාට ඕක ඉස්සෙල්ලම හිතුනෙ මට. ඒ අද ඊයෙ නෙවේ. එහෙනං...


එහෙනං කියන්නෙ මොන්ටිසෝරියෙදි.  මොන්ටිසෝරියෙ මොන ලවුද.  ඒක ලව් එකක්ද  කියන්න මම දන්නෙ නෑ. හැබැයි මොන්ටිසෝරියෙදි එයා...


ආ එයාගෙ නම ෂහීනා, ෂහීනා බොන්සො. හරියටම කිව්වොත් ෂහීනා සැලී බොන්සො. බන්ධනාගාරෙ හිටපු ලොකු ජේලර් උසම මහතම  යෝධ සමාත් බොන්සොගෙ දුව. එයාගෙ අයියා ඩෙරික් , ඩෙරික් බොන්සො නලුවෙක් වගේ කියලා හැමෝම කියන්නෙ. ඒවා තේරුනේ පස්සෙ...


ආ ඉන්නකො කියන්නම්  මොන්ටිසෝරියට ගිය ගමං මම බලන්නෙ ෂහීනා ඇවිල්ලද කියලා. ෂහීනා  කිව්වෙ නම් ලකුණු කරන පොඩි මැඩම් විතරයි. අපි හැමෝම කිව්වෙ සැලී කියලා. සැලී නැත්තං එදාට මොන්ටිසෝරිය නිකං නිරෝධායන කඳවුර වගේ.  හැමෝටම නෙවේ අනේ මට. 


Sunday, October 8, 2023

තංගච්චී





කවි සිතුවිලි පහලවුනේ උඹ දැක්කම...............................................තංගච්චී

රෑට බතට සම්බෝලේ ලුණු වැඩි ඇයි..................................................මීනච්චී

උඹ දුටු දා ඉඳලා මට බඩ ගින්දර..................................................නැතිවෙච්චී

හිනා වෙන්න හිතක් නැතිද අදවත් මට..........................................නපුරිච්චී

Monday, March 13, 2023

වැස්ස

 



අදත් වැස්ස වහින සඳේ මතක සුවඳ දැනේ , සීතල වැහි පොදේ මතකද තෙමුණා දෙන්නා. 


මීට අවුරුදු හැටපහකට විතර කලිං මට අවුරුදු 5දි විතර වැස්සට යන්න වැස්සෙ තෙමෙන්න එක එක කන්ඩිෂන් තිබ්බා. ඉඳලා ඉඳලා වහිනකොට එලියට යන්න විදිහක් තිබ්බෙ නෑ අත්තම්මා කිව්වෙ " අලුත් වැස්සට තෙමෙන්ඩ එපා පුතේ " කියලා, මඳ වැස්සට තෙමෙන්ද එපා , හිරිපොදේට තෙමෙන්ඩ එපා , පාන්දර වැස්සට තෙමෙන්ඩ එපා. හැන්දෑකරේ වැස්සට තෙමෙන්ඩ එපා වගේ එක එක ඒවා. "එතකොට අත්තම්මේ මොන වැස්සටද තෙමෙන්ඩ පුළුවන් ?".
"%@& ඒක අහගං තොගෙ මහ එකාගෙං. තොට ඕන මංගල්ලයක් කරගනිං... මං නෑ ඇහැක් ඇරලා බලන්නෙ .#&#&#" ඔන්න ඉතිං උත්තර.

Sunday, February 5, 2023

සිමෙන්ති බංකුව



අපේ බස්සෝල්ට්ටෙකේ තිබ්බෙ සිමෙන්ති බංකුවක් හැබැයි. ඒකෙ කවුරුවත් වාඩිවුනේ නෑ. ඒ සිමෙන්ති බංකුවේ පිට තියෙන ඇන්දෙ වහලා ඉන්න කපුටො බෙටි දාන්නෙ සිමෙන්ති බංකුවේ පුප තියන කෑල්ලට.

සමහර වෙලාවට බීලා වැඩිවෙන දර්මෙ මාමා ඕකෙ නිදාගෙන ඉන්නවා මං දැකලා තියෙනවා. බංකුවේ පාට මොන පාටද කියලා හරියටම කියන්න බෑ. හැබැයි මුලිංම ගාලා තිබ්බ පාටනං සුදුපාට කියලමයි මට හිතෙන්නෙ. අන්තිමට ගාපු පාට නං නිල්පාට ඒක මතකයි. ප්‍රාදේශීය සබාවෙ සබාපතියා නිල්පාටෙං පත්වුන නිසා අහලපහලා බෝක්කු තාප්ප ඔක්කොම නිල්පාට ගෑවා.

Tuesday, October 26, 2021

හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක්

 හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක් 


කෘෂිකාර්මික මිත්‍යාව 

ලංකාව ගැන ඉස්සර ඉඳන්ම කියන්නේ කෘෂිකාර්මික රටක් කියලනේ, ඒත් ඔරකල් කාබනික ගොවිතැන කන්සෙප්ට් එකත් එක්ක තිබ්බ ගොවිතන්ටත් කෙලවෙලා ඇමිණිලා ඉන්න වෙලාවක් මේ. අපේ රටේ ගොවීන්ට අඩුවෙන්ම ලැබෙන්නේ කෘෂිකාර්මික තාක්ෂනය ඒ  වගේම තාක්ෂණික කෘෂිකර්මයකට යන්න ගොවියත්, රජයත් දෙකම අසමත්, අකැමතියි.  ඊශ්‍රායලය වගේ රටවල් වලින් ඒ තාක්ෂණය ගෙන්වන්න තරම් උවමනාවක් තියෙන බවක් පේන්නත් නෑ. විද්වතුන් කියන දේ  පිළිගන්න,නව පර්යේෂකයන්ට ඉඩ දෙන්න රජය විතරක්ම නෙවී ඔය කෘෂිකාර්මික පර්යේෂණ වගේම රටේ වගකිවයුතු තැන්වල ඉන්න නිලධාරින් පවා ඉඩක් දෙන්නේ නෑ.