නින්ද නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්...දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවා නම්.
මට කාලයක් තිබ්බා ඔය සින්දුව ඇහෙනකොට ඇඬෙනවා.මං දන්නෙ නෑ ඇයි කියලා ඒත් ඇඬෙනවා. . ක්‍රෂ් එකක් හිටියෙත් නෑ මට හිත ගිය කෙල්ලෙක් හිටියෙත් නෑ. කොටින්ම එහෙම වුවමනාවක් තිබුනෙත් නෑ. ඒත් ඒ සින්දුව ඇහෙද්දි ඇඬෙනවා.
ඔය අතරෙ තමා මේධානිකා මගේ ජීවිතේට ආවේ. මට ඉස්සෙල්ලම හිතුනේ මොන විකාර නමක්ද මේ කියලා.
මේධා මේධනී මේධානි වගේ නම් අහල තිබ්බට මේධානිකා කියලා නමක් ඇහුවමයි. මේධානිකා ප්‍රතිභාවි ඉරුගල්බණ්ඩාර මේ නම ඇහිච්ච ගමන් මම නම් මට හිතුනෙ මොන හත්වලාමක්ඩ්ද යකෝ මේ කියලා.
කාලයක් යද්දි මේධානිකා මේධානි මේධා වෙලා අන්තිමට මේධි වුණා. මේධිට ඕන වුනේ හැමදාම ඇවිදින්න යන්න. කොටින්ම කිව්වොත් ට්‍රැවලිං පිස්සෙක්... පිස්සෙක් කිව්වට පිස්සියක්.
මං ඒකෙ අනික් පැත්ත. මට ඕන වුනේ නිවාඩු දවසට නිදාගන්න. දවසම හරි කමක් නෑ.කොටින්ම මම මහා කම්මැලි ජීවියෙක්. රෙදි ටික ඔක්කොම බයිසිකලේ පටවගෙන ගෙදර ගිහිල්ලා අම්මට හෝදන්න දාලා රෙදි හෝදගෙන ආපහු කොළඹ එනවා. ඩේලි රූටින් එකෙන් පිට මම කරන එකම වැඩේ.
විශේෂ විනෝදාංශයක්, ක්‍රීඩා හැකියාවක්, කලා හැකියාවක් හෝ ගණිතමය, විද්‍යාත්මක හැකියාවක්, විශේෂ ලස්සන පෙනුමක්, උසක්, මහතක් හෝ ඇඟක් නොතිබ්බ කොටින්ම විශේෂයක් නැති මෙලෝ රහක් නැති හාල් කෑල්ලක් වෙච්ච මං වගේ ඩයල් එකකට මේධි වගේ කෙල්ලෙක් කැමති වුනේ ඇයි කියලත් හිතෙනවා.
ගුණරත්නගේ කණ්ඩුල නජිත් ගුණරත්න වන මම, office එකේ අනිත් එවුන් මට කතා කරේ මගේ මුල් නං වල මුල අකුරු වලින්. ගූකන ගුණරත්න කියලා තමා වැඩිදෙනෙක් කතා කලේ. ඕක ගූකන්නා, ගූකනෙයියා වගේ නම් වලටත් හැරුණා. මුලදි මුලදි ඕක ඇහෙන කොට මට ඇඬෙන්නැති ටික විතරයි. මට හිතාගන්න බැරි ඉස්කෝලෙදි ඔය නම කාටවත් මතක් වුණේ නැත්තේ ඇයි කියලා. පස්සෙ පස්සෙ මට ඕය නම ගාණක් නැතිවුනා , මම ඒකට රියැක්ට් කරන එක නැවතුනාම අනිත් එවුන් මට ඒ නමින් කතා කරන එකත් බොහෝ දුරට න්වැතුණා. ඒත් එකෙක් විතරක් හැමදාම ගූඛාන් කියලා කිව්වා.
*********







